January 1, 2025

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණ ද යුක්තිය වැනි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාලට අනුව ‘යුක්තිය’ මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයකි.

අර්ථ විරහිත එවැනි මෙහෙයුමක් දියත් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

දැනට අවධානය යොමු කරන්නේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ බවත් ඉහළගොස් ඇති වෙඩි තැබීම් මැඩපැවැත්වීමට සැලසුමක් ඇති බව ද ඔහු සඳහන් කරයි.

තම ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට අදාළ පොලිස් නිලධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම තාක්ෂණය මත පදනම් වූ මත්ද්‍රව්‍ය අලෙවිකරණ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර මෑත වසරවලදී සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇති අතර, එම ප්‍රයත්නවල ඵලදායිතාව බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයට ලක්ව තිබිණි.

‘යුක්තිය’ මෙහෙයුම දියත් කරන ලද්දේ එම පසුබිම තුළය.

ඒ අතරතුර සැකකරුවන් දහස් ගණනක් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම මෙහෙයුම අවසන් වූයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයකින් අනතුරුවයි.

42.31%
17.27%
32.76%