September 7, 2024

ඇතැම් සෞඛ්‍ය සහ යෝග්‍යතා වීඩියෝ දර්ශන(health and fitness videos)  නව යොවුන් වියේ දරුවන්ට නිර්දේශ කිරීම සීමා කිරීමට YouTube සූදානම් බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ මේ යටතේ වයස අවුරුදු 13 සිට 17 දක්වා වන පරිශීලකයන්ට යෝග්‍යතාවන්ට අදාළ අන්තර්ගතයන් සෙවීමට සහ බැලීමට හැකි වනු ඇති බවයි.

එසේවුවද එම වයස් කාණ්ඩයේ පරිශීලකයන්ට ඒ හා සමාන වීඩියෝ නැවත නැවත බැලීම සඳහා ඉදිරියේදී දිරිමත් නොකරනු ඇත.

එවැනි දේවලට නැවත නැවත නිරාවරණය වීමෙන් යෞවනයන්ට තමන් ගැන ඍණාත්මක විශ්වාසයන් ඇතිවිය හැකි බවට වන සැලකිල්ල මත මෙම පියවර ගන්නා බව YouTube පවසයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙම පියවර සාදරයෙන් පිළිගෙන ඇති නමුත් තරුණයන් සඳහා යෝග්‍යතා සහ සෞඛ්‍ය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබේ.

YouTube හි ඇල්ගොරිදම සාමාන්‍යයෙන් පරිශීලකයන්ට යම් වීඩියෝවක් අවසන්වීගෙන එන විට ඊට සමාන අන්තර්ගතයක් නැරඹීමට නිර්දේශ කරනවා මෙන්ම අදාළ වීඩියෝ පැති තීරුවක පෙන්වීමට ද කටයුතු කරයි.

YouTube පවසන්නේ මෙය නව යොවුන් වියේ පසුවන, සමහර අන්තර්ගතයන් බලන පිරිස සඳහා තවදුරටත් ලබා නොදෙන බවයි.

භෞතික ලක්ෂණ සංසන්දනය කරන වීඩියෝ, නිශ්චිත යෝග්‍යතා මට්ටම් හෝ ශරීර බර පරමාදර්ශී බව පෙන්වන වීඩියෝ සහ බිය ගැන්වීම් ආකාරයෙන් සමාජ ආක්‍රමණ ප්‍රදර්ශනය කරන වීඩියෝ වැනි අන්තර්ගතයන් මීට ඇතුළත් වනු ඇත.

YouTube පැවසුවේ එහි තරුණ හා පවුල් උපදේශක කමිටුව යෞවනයන් අන්තර්ජාලය හරහා නරඹන අන්තර්ගත මගින් මෙසේ විය යුතුයැයි හඟවන ප්‍රමිතීන් පිළිබඳ පුන පුනා පණිවිඩ දකින විට ඔවුන් ගැන නිෂේධාත්මක විශ්වාසයන් ඇති කර ගැනීමට වැඩිහිටියන්ට වඩා වැඩි ඉඩක් ඇති බව සොයා ගැනීමෙන් පසුව මෙම පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් පිරිනමනු ලබන වීඩියෝ පිළිබඳ සීමාවන් පැනවෙනු ඇත්තේ පරිශීලකයා YouTube ගිණුමක් සඳහා නිවැරදි උපන්දිනයක් ලියාපදිංචි කර ඇත්නම් පමණි.

මෙම වේදිකාවට පරිශීලකයන් කියන වයස සත්‍යාපනය කිරීමේ ක්‍රමයක් නොමැත.