April 29, 2025

කොළඹ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබී රුපියල් මිලියන 13.5ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී අත්ඔරලෝසු දෙකක් සහ ස්ටර්ලින් පවුම් 500ක මුදලක් සොරකම් කර පළාගොස් සිටි තරුණියක කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරිය මැයි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.

සැකකාරිය සිවසඳරම් සිවරාංගනී නමැති 23 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය ව්‍යාපාරිකයාගේ නිවසේ ගෘහසේවිකාවක් ලෙස සේවය කර ඇති අතර, මාස හතරක සේවා කාලයකින් පසු අප්‍රේල් 9 වැනිදා නිවාඩු ගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

ඇය නොමැති කාලය තුළ විදේශ ගතව සිටින අදාළ නිවස හිමි ව්‍යාපාරිකයාගේ දරුවන් දෙදෙනා එම නිවසට පැමිණ, අප්‍රේල් 20 වැනිදා යළිත් රටින් පිටවීමට සූදානම්ව තිබේ.

එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා එම මිල අධික අත්ඔරලෝසු තම දරුවන්ට තෑග්ගක් ලෙස ලබාදීමට සෙවීමේදී එම භාණ්ඩ අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ නිවාඩු ගොස් සිටි ගෘහසේවිකාව නැවත සේවයට පැමිණ නොමැති බව සහ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා ඇති බවයි.

මෙම කරුණු මත සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.