March 4, 2025

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරයම්පති ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ යමක් විවෘත කිරීමට යාමේදී සිදුවූ පිපිරීමකින් 23 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ පස්වරුවේ තරුණයින් සිව්දෙනකු මුහුදේ දිය නාමින් සිටියදී මෙම නාඳුනන වස්තුව සොයාගෙන ඇති අතර පිපිරීම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

එය විවෘත කිරීමට යෑමේදී එම වස්තුව පුපුරා ගොස් ඇති අතර ඉන් එක් අයෙකුට බරපතල තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

එලෙස තුවාල ලබා ඇත්තේ තිරුනිට්රුකේනි ආරයම්පති ප්‍රදේශයේ පදිංචි වර්ධරාජන් නැමැත්තෙකු වන අතර, ඔහු මූලික ප්‍රතිකාර සඳහා ආරයම්පති රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.