September 12, 2024

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සියලුම ආරක්ෂක මුරපොළවල් පසුකර අද අලුයම චෙන්නායි බලා යන ගුවන් යානයකට හොර රහසේ ගොඩවීමට උත්සාහ කළ තරුණයකු ගුවන්තොටුපළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී සෙරෙප්පු පැළඳ සිටි බව පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු සිය පියා සමඟ චෙන්නායි හි පදිංචිව සිට ඇති අතර, ඔහු මීට පෙර දෙවතාවක් විදේශගත වී ඇතැයි ද අනාවරණ වී තිබේ.

ගුවන් තොටුපළ ආරක්‍ෂක නිලධාරීන් සැකකරුට ගමන් ලියකියවිලි හෝ ගුවන් තොටුපළට පිවිසීම සඳහා අවශ්‍ය ලේඛන ද නොමැති බව සොයාගෙන පොලිසියට භාර දී ඇත.

අනතුරුව පොලිසිය සැකකරුගේ සොහොයුරා සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ සැකකරු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එහෙත් ඔහු මාසයක පමණ කාලයක සිට ඖෂධ ලබාගෙන නොමැති බව ද එහිදී අනාවරණ වී තිබේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.