May 4, 2024

රටේ පිළිගත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කර අපරාධකරුවන් බිහි නොවන සමාජයකට පරිවර්තනය කරන බව ප්‍රකාශ කළ යුතු ඇමැතිවරයකු අපරාධකරුවන් තුරන් කිරීම සහ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස නීතීඥයන්ට තර්ජනය කිරීම ලැජ්ජා සහගත හා භයානක බව තරුණ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් තරුණ නීතිඥ සංගමය ප්‍රකාශ කළේ අධිකරණයකදී වරදකරු බව ඔප්පු වන තුරු කිසිදු අපරාධකරුවකුට දඬුවම් නොකළ යුතු බවයි.

“මෙරට නිසි නීති පද්ධතියක් නොමැති බව දනවනසුළු, අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට ටිරාන් අලස් ඇමැතිවරයා කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා,” යනුවෙන් තරුණ නීතීඥ සංගමයේ ලේකම් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවසීය.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා එක්රැස් වූ පොලිස් විශේෂ යතුරුපැදි බලගණයේ විසිර යෑමේ පෙළපාලිය අමතමින් විෂය භාර ඇමැතිවරයා කියා සිටියේ “මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල ක්‍රියාකාරීන් වැනි අපරාධකරුවන් තුරන් කිරීම වරදක් නොවන” බවයි.

“මහජන ආරක්‍ෂක ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන අලස්, අපරාධකාරයකු වුවත් නැතත් සමාජයේ සෑම පුද්ගලයකුගේම ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකිව යුතුයි. වරදකරු බව ඔප්පු වන තුරු සෑම අපරාධකරුවෙක්ම සැකකරුවෙක්. සාධාරණ නඩු විභාගයකින් තොරව අපරාධකරුවන්ට වෙඩි තබනවානම් හෝ නැති කරනවානම් අපි ඔවුන්ගේ පවුල්වලට මොනවද කියන්නේ ?” යැයි නීතිඥ දෙහිඅත්තගේ ප්‍රශ්න කළේය.

“පාතාලයේ සිටින මෙම අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් දරිද්‍රතාවයේ සහ සමාජයේ පහළ මට්ටමේ සිට ගොදුරු වූවන් බව අපි නිරීක්ෂණය කර තිබෙනවා. අපරාධකරුවන් බිහි නොවන සමාජයක් පරිවර්තනය කිරීම තමයි කළ යුතු ධර්මිෂ්ඨම ප්‍රකාශය,” දෙහිඅත්තගේ පැවසීය.

නීතීඥ තනුක නන්දසිරි කියා සිටියේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියහොත් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන බව පවසමින් ඇමැතිවරයකු රටේ නීතිඥවරුන්ට තර්ජනය කිරීම ලැජ්ජා සහගත බවයි.

“අපරාධකරුවන් ආරක්ෂා කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. වැරදිකරු බව ඔප්පු වන තුරු සෑම වැරදිකරුවකුම සැකකරුවෙක්. සැකකරුවකු වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින්නේ නම්, එම පුද්ගලයා තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නේ කෙසේද?’ යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

ටිරාන් අලස් දැනගත යුතුයි නීතීඥවරුන් ද විනිසුරුවරුන් මෙන් අධිකරණ පද්ධතියේ කොටස්කරුවන් බව. මේ වගේ ප්‍රකාශයක් කරලා නීතීඥවරුන්ට අපහාස කරන්න ඇමැතිතුමාට අයිතියක් නැහැ.” යනුවෙන් ද නීතිඥ නන්දසිරි පැවසීය.

42.31%
17.27%
32.76%