January 27, 2025

මුදල් විශුද්ධිකරණ පනත යටතේ දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප ලබාදුන් යෝෂිත රාජපක්ෂ මෑතකදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නොමඟ යවනසුළු වාර්තා පළවීම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කරයි.

පසුගිය ආණ්ඩුවල පිළිවෙත් වර්තමාන ආණ්ඩුවද අනුගමනය කරන බවට චෝදනා කරමින් පළවන විවිධ වාර්තා රජයේ ක්‍රියාමාර්ග ප්‍රශ්න කර ඇති බවද අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

“පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, මාංචු දමා, නිදහස් කිරීමට පෙර මාසයක පමණ කාලයක් රිමාන්ඩ් කරනු ලබන ජනමාධ්‍ය නාට්‍යවලට මහජනතාව හුරුවී තිබෙනවා. කෙසේවෙතත්, ඇප ලබාදීමෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන බවක් අදහස් වෙන්නේ නෑ” ඇමැති නානායක්කාර පැහැදිලි කරයි.

යම් යම් දේශපාලන බලපෑම් හේතුවෙන් යෝෂිත රාජපක්ෂ මෑතක් වන තුරුම සැකකරුවෙකු ලෙස නම් කර නොතිබූ බව අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව ඔහු පෙන්වාදෙයි.

ඇප පනතේ විධිවිධානවලට අනුව, සැකකරු විමර්ශනවලට බාධා නොකරන්නේ නම්, රටින් පළානොයන්නේ නම් හෝ පෙර වරදකරුවෙක් වී නොමැති නම් ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමේදී මාංචු නොමැති වීම පිළිබඳ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් නානායක්කාර මහතා මෙසේ පැවසීය. “සැකකරුවෙකුගේ මාංචු දැමීම තීරණාත්මක සාධකයක් නෙවෙයි. නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පිළිබඳව මාධ්‍ය ආයතන සැක මතුකර තිබෙනවා. කෙසේවෙතත්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩුවක් ගොනුකරන බැවින්, මෙම සියලු ගැටළු මාසයක් ඇතුළත විසඳෙනවා”

42.31%
17.27%
32.76%