March 25, 2025

එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් විසින් මාර්තු 15 වැනි දින යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පැය කිහිපයකට පෙර, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළිකර ඇති බව ‘The Atlantic’ සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා අනාවරණ කර තිබේ.

ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පවසන්නේ, එක්සත් ජනපද රජයේ නිලධාරීන් අහම්බෙන් සහ අත්වැරදීමකින් තමාව කෙටි පණිවිඩ යොමුකිරීමේ කණ්ඩායමකට එක්කළ බව සහ එහිදී ඔවුන් අදාළ ප්‍රහාරය පිළිබඳ තොරතුරු හුවමාරු කරගත් බවයි.

මෙම අනාවරණයත් සමග අමෙරිකානු රජය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්ව සිටින අතර, රහස්‍ය තොරතුරුවල ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් මතභේදයක් උද්ගත වී ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය පවසයි.

“එක්සත් ජනපදය යේමනයේ හූති ඉලක්ක වෙත බෝම්බ හෙලන බව මාර්තු 15 දින පස්වරු 2ට ටික වේලාවකට පෙර ලෝකයම දැනගත්තා,” ගෝල්ඩ්බර්ග් ‘The Atlantic’ සඟරාව මගින් ප්‍රකාශයට පත්කළ ලිපියකින් පවසයි.

“කෙසේවෙතත්, පළමු බෝම්බ පිපිරවීමට පැය දෙකකට පෙර, ප්‍රහාරය සිදුවන බව මම දැන සිටියා. මම මෙය දැනගැනීමට හේතුව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මට යුද සැලැස්ම උදේ 11:44 ට කෙටි පණිවුඩයක් ඔස්සේ එවා තිබීමයි.” ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් එහි සඳහන් කර තිබේ.

මාර්තු 11 වැනිදා, සංකේතාත්මක පණිවුඩකරණ සේවාවක් වන සිග්නල් ඔස්සේ, මයිකල් වෝල්ට්ස් නම් අයෙකුගෙන් ගෝල්ඩ්බර්ග්ට සම්බන්ධතා ඉල්ලීමක් ලැබී තිබේ.

මයිකල් ‘මයික්’ වෝල්ට්ස් යනු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශකයාය.

සන්නිවේදන කණ්ඩායමේ සිට ඇති අනෙකුත් සාමාජිකයන් වන්නේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, උප ජනාධිපති ජේ ඩී වෑන්ස්, ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂවරයා, ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා, ස්වදේශ ආරක්ෂක උපදේශක ස්ටීවන් මිලර්, ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ට්‍රම්ප්ගේ නාමිකයා වන ජෝ කෙන්ට් යන පුද්ගලයන් බව දජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පවසයි.

කෙසේවෙතත් මේ සමග උද්ගත වි ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ධූරයෙන් පහකරන ලෙස ධවල මන්දිර නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව ද වාර්තා වේ.

එමෙන්ම අමෙරිකාව සමග යුද රහස් බෙදාගන්නා විදෙස් රටවල් කිහිපයක්ම ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාද කර ඇතැයි ද සඳහන් වේ.

කෙසේවෙතත් අමෙරිකාවේ සමීපතමයකු වන බ්‍රිතාන්‍ය පවසන්නේ, තමන්ට තවමත් අමෙරිකාව පිළිබඳ ඉහළ විශ්වාසයක් ඇති බවයි.

මෙම සිද්ධිය ගැන විමසූ විට බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා අමාත්‍ය ලූක් පොලාර්ඩ් පොදු ආරක්ෂක කමිටුවට පවසා ඇත්තේ, එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු බ්‍රිතාන්‍ය සේවකයෙකු අවදානමට ලක්නොවූ බවයි.

”එබැවින් එක්සත් ජනපදය ඇතුළු අපගේ මිත්‍ර රටවල් සමඟ අප ගෙන ඇති ක්‍රියාමාර්ග නොවෙනස්ව පවතින බවට අපට ඉහළ විශ්වාසයක් ඇත.” යනුවෙන් ඔහු පවසයි.

යේමනයේ හූති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරවලදී අමෙරිකාවේ ප්‍රධානතම සහයකයා ලෙස කටයුතු කරන්නේ බ්‍රිතාන්‍යයි.