August 18, 2023

වයඹදිග වෙරළ තීරයේ තලෙයිමන්නාරමේ සිට මධ්‍ය කඳුකරයේ මාතලේ දක්වා කුඩා එහෙත් ප්‍රසිද්ධ පා ගමනක පිරිසක් ගමන් කළහ. ශ්‍රී ලංකාවේ අලුතින් පිහිටුවන ලද තේ වතුවල වැඩකිරීම සඳහා ඉන්දියාවේ දකුණේ සිට දස දහස් ගණනින් පිරිමින් සහ ගැහැණුන් ගලා ආ වසර 200කට පෙර කැලෑ මාවත, මෙම පාගමන මගින් නැවත සොයාගන්නා ලදී. එම ගමනේ සංකේතාත්මක ප්‍රතිනිර්මාණය පසුගිය දෙසතිය පුරා සිදුවිය. කෙසේවෙතත් එම දිගු ගමනේ දැඩි දුෂ්කරතාවට මුහුණදිය හැකි වූ  අතළොස්සක්දෙනා පමණක් තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා ගමන් කළහ. දස දහස් ගණනක් පසුගිය ශතවර්ෂවල මෙම ගමනේදී අතරමඟ මිය ගියේය. සමහර කණ්ඩායම්වල සියයට 40ක් පමණ දෙනා අතරමගදී මගදී මරණයට පත්ව තිබිණි. තමන් ඇවිද ගිය බිමේ තවත් යුගයක අතුරුදහන්වූවන්ගේ සොහොන් ඇති බව නූතන යුගයේ එම මාර්ගයේම ගමන් කරන්නන් මතක තබාගත් බවට සැකයක් නැත. මංපෙත් දිගේ විවිධ ස්ථානවලදී පාගමනට එක් වූ සිය ගණනකට නවීන පහසුකම්ව සැලසුණු අතර, මාර්ගය අයිනේ ඇති නවීන පහසුකම්වලින් යුත් තාර පාරවල්, කඩසාප්පු සහ ආහාර ගන්නා ස්ථාන සහ නිදාගැනීමට මෙන්ම ප්‍රබෝධමත් වීමට සනීපාරක්ෂක පහසුකම් තිබිණි. ඔවුන් බොහෝදෙනාට ඉවසීමෙන් සහ එකිනෙකා කෙරෙහි බොහෝ සංවේදනයකින් සැළකීම් ලැබිණි.

වත්මන් ආර්ථික අර්බුදය වඩාත් දරුණු ලෙස බලපා ඇත්තේ මෙම පාගමනට එක්වූ සහ සහාය පළකළ වතුකරයේ වැඩකරන ජනතාවටය. දිනකට රුපියල් 1000 ක සොච්චම් වැටුපක් සඳහා ඔවුන්ගේ අරගලය ආරම්භ වූයේ කොවිඩ් වසංගතය ජාතික ආර්ථිකය දුර්වල කිරීමට පෙරය. කෙසේවෙතත්, වෛරසය පැතිරීම සීමාකිරීමට යෙදවුණු රජයේ ඇඳිරි නීතිය කෘෂිකාර්මික අංශයට අදාළ නොවීම හේතුවෙන් තේ වතුවල වැඩ කටයුතු අඛණ්ඩව සිදුවිය. වසර පහකට වැඩි අරගලයකින් පසුව 2021 දී වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ලැබෙන විට එහි සැබෑ වටිනාකම උද්ධමනය නිසා අවප්‍රමාණය වී පැවැතිණි. ඊට අමතරව සම්පූර්ණ මුදල ලබාගැනීම සඳහා අනිවාර්ය දින ගණනක් වැඩකිරීම සහ අනිවාර්ය තේ කිලෝ ප්‍රමාණයක් නෙළීම වැනි විවිධ කොන්දේසි එයට අමුණා තිබිණි. වතු සමාගම්වල ස්ථාවරය වන්නේ මෙවැනි කොන්දේසි පනවා වැටුප් අඩු මට්ටමක තබාගැනීම හැර තම ව්‍යවසාය ලාභදායී ලෙස පවත්වාගෙන යා නොහැකි බවයි.

මෙම ශ්‍රමික පිරිස රටේ ප්‍රධාන ධාරාවෙන් වෙන්කර තැබූ සහ වතු පරිපාලනය ඔවුන්ගේ අධිපතියා බවට පත්කළ යටත් විජිත බැඳීමක් සහිත ශ්‍රම ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත්කර, නවීන ආකාරයේ හිමිකාරිත්වයක් සහ නිෂ්පාදන ක්‍රමවේදයක් ගෙනඒම අත්‍යවශ්‍ය වේ. වතු කම්කරුවන් මෙතරම් කාලයක් අරගල කළ රුපියල් 1000ක වැටුප, අද වන විට වතුකරයේ වැඩකරන පවුලක සංඛ්‍යාව කුමක් වුවත් ජීවත් විය නොහැකි ලෙස, දිනකට රුපියල් 500ක අගයකට සමාන වී ඇත. දරිද්‍රතා මට්ටම ජනගහණයෙන් සියයට 50 දක්වා ළඟාවෙමින් පවතිද්දී, රටේ වතුකරය වඩාත් දරුණු ලෙස පීඩාවට පත්වී ඇති බව ලෝක බැංකු සමීක්ෂණවලින් සනාථ වේ. මෙම මංමුලාසහගත තත්වය තුළ ඔවුන්ගෙන් කිහිපදෙනකු පා ගමනට සම්බන්ධ වුවද බහුතරය තම රැකියාවෙන් නිවාඩු ලබාගෙන, අවම දින ගණනක් වැඩකිරීමට අවශ්‍ය දිනකට රුපියල් 1000 ක වේතනය අත්හැරීමට කැමැත්තක් නොදැක්වීම පුදුමයක් නොවේ.

සෑම තැනකම දැකගත හැක්කේ වගවීමේ අවශ්‍යතාවයි

ජාතික ක්‍රිස්තියානි සභාව සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ‘මාන්බුමිගු මලයහ මක්කල් සඳහා සාමූහිකත්වය’ නමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වීය. එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් වේ.
“නිදහසේ සිට මලයහ දෙමළ ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රජාවන් හා සමානව ඔවුන් පූර්ණ පුරවැසියන් ලෙස පිළිගැනීම ඇතුළත් කර ඇත. සමානාත්මතාව, වෙනස්කම් නොකිරීම, ආරක්ෂාව සහ ප්‍රජාවගේ අවශ්‍යතා මෙන්ම අනන්‍යතාව ආරක්ෂා කරන දේශපාලන හා පරිපාලන විධිවිධාන සඳහා ඉල්ලීම් නිරන්තරයෙන්ම පවතී. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංකේන්ද්‍රිතව සහ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයක විසිරී සිටින තම ජනතාවගේ කටයුතු කළමනාකරණය කරමින් අභිමානයෙන්, ආත්ම ගෞරවයෙන්, සාමයෙන් හා ආරක්‍ෂාවෙන් ජිවත්වීමට අවශ්‍ය හඬ සහ බලය ප්‍රජාවට ලැබෙන පරිදිය”.

“වතුකරයේ පදිංචිකරුවන් ලෙස 500,000 කට අධික පිරිසක් ඇතුළු මලයහ දෙමළ ප්‍රජාවගේ වර්තමාන තත්ත්වය, ස්වේච්ඡාවෙන් විදේශගත වීමේ ඉතිහාසයක ප්‍රතිඵලයක් වී ඇත. මෙය එම ප්‍රජාවගේ සමාජ-ආර්ථික යහපැවැත්මට බලපා ඇත. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වතුකරයේ ජීවත් වන සහ වැඩකරන ජනතාවටයි. ඔවුන් රටේ අනෙකුත් සෑම ප්‍රජාවකටම සාපේක්ෂව, මානව සංවර්ධන දර්ශක සියල්ලම පාහේ පහත් මිනුම්දඬු සටහන් කරමින්, රටේ වඩාත්ම කොන්වීමට ලක්වූ කණ්ඩායම බවට පත්ව ඇත. ඔවුන්ගේ ජිවිත වතු හාම්පුතුන් හා බැඳී ඇති අතර, හාම්පුතුන් මත යැපෙන කම්කරුවන් වන බැවින්, ශ්‍රී ලංකාවේ අනෙකුත් අයට සමානව සම අයිතිවාසිකම් සහිත පූර්ණ පුරවැසියන් දක්වා සංක්‍රමණය වීමට බරපතල ලෙස බාධා එල්ලවී ඇත.

ජාතික ගීයේ සඳහන් වන්නේ එක මවකගේ දරුවන් ලෙස භූමියේ වාසය කරන්නන් පිළිබඳවය. ජාතික ගීයේ වචන කෙතරම් අගනේද යත්, එහි වචන නොදැනුවත්වම වැරදි ලෙස උච්චාරණය කිරීම පවා කෝපයට පත් ප්‍රතිචාරයකට සහ දඬුවම් ඉල්ලා සිටීමකට හේතු වේ. කෙසේ වෙතත්, ස්වාධීන ජාතියක් ලෙස රට ඉපදීමේදී ජාතික ගීයේ ආත්මය උල්ලංඝනය වී ඇත. එහි එක් දරුවෙක් පාරාදීසයෙන් නෙරපා හැර තිබේ. කන්නන්ගරගේ බොහෝ පිළිගැනීමට ලක් වූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට දුප්පත් වතු කම්කරුවන්ගේ දරුවන් ඇතුළත් කර නොතිබිණි. ඔවුන්ගේ අධ්‍යාපනය 1980 දක්වා වතු කළමනාකාරිත්වයට පැවරුණු අතර, ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකින් පසු ඔවුන්ගේ අධ්‍යාපනයට අවස්ථා ලබාදීමට රජයට සිදු විය. අවාසනාවකට, වෙනත් තැන්වල පාසල්වලට සාපේක්ෂව අදටද ගුණාත්මක අධ්‍යාපනය සඳහා ඔවුන්ට පවතින අවස්ථා අඩුය. පව් කිරීම නිසා මිනිසුන් පාරාදීසයෙන් නෙරපාහරින ලද ආගමික ඉගැන්වීම් පවතී. එහෙත් වතුකරයේ වැඩකරන දෙමළ ජනතාව කිසිම පාපයක් කර ඇත්තේ නැත. ඒ වෙනුවට, ඔවුහු වතුකරයේ වෙහෙස මහන්සි වී සේවය කර, නිදහස ලබන විට රට ආසියාවේ වඩාත්ම සමෘද්ධිමත් එකක් බවට පත්කිරීමට සහ නිදහස් අධ්‍යාපනයට සහාය වීමට හැකි වූ රටක් බවට පත්කිරීමට දායකවූවෝ වෙති. මෙරටින් පිටත්ව ගිය බ්‍රිතාන්‍යයෝ, රට පෙරදිග ස්විට්සර්ලන්තයට සමාන කළහ. ඔවුන් ද ආරක්ෂා කළ සහ තවමත් දිගටම පවත්වාගෙන යන සාරධර්මවලට අනුව රටේ ජනයා ජීවත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔවුන් ද වගකිව යුතුය.

යුක්ති සහගත වන්දි

1948 දී, නිදහස් ශ්‍රී ලංකාවේ රජය සිය පළමු තීරණයක් ලෙස, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාට පුරවැසියන් ලෙස රට තුළ ජීවත් වීමේ අයිතිය ප්‍රතික්ෂේප කළේය. ඒ වන විට ඔවුන් ශ්‍රී ලංකා සම්ප්‍රදායික දෙමළ ජනගහණය ඉක්මවමින් රටේ විශාලතම ජනවාර්ගික සුළුතර ජනගහණය විය. ඛේදජනක ලෙස, ශ්‍රී ලාංකීය ජාතියේ සියලුම කොටස්, මිලියනයකට අධික පිරිසකගේ පුරවැසිභාවය සඳහා ඇති අයිතිය මෙන්ම ඔවුන්ගේ ඡන්ද අයිතිය හා අනෙකුත් මූලික මානව අයිතිවාසිකම් අහිමි කළ කුරිරු තීරණයකට හවුල් වූහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට ආරක්ෂාවක් හෝ නීතියේ රැකවරණයක් ලබාදුන්නේ නැත. එවකට පැවති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසන් අභියාචනාධිකරණය වූ ලන්ඩනයේ ප්‍රිවි කවුන්සිලය අදාළ නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බැවින්, පිළිගත් බ්‍රිතාන්‍ය යුක්ති පද්ධතිය තුළ පවා එය අසාර්ථක විය. ප්‍රිවි කවුන්සිලය එකල ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවට එකඟ වූ අතර, වෙනත් ප්‍රජාවකට වෙනස්කොට සැළකීමට සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියේ අදාළත්වය නොසළකා හරින ලදී. අන්තර්ජාතික නීතියට අනුව, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා වගවීම විශ්වීය වන අතර ඊට ජාතික සීමාවන් නොපවතී.

සිය ප්‍රකාශය මගින් මාන්බුමිගු මලයහ මක්කල් සඳහා වූ සාමූහිකය ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය. මෙයට ඔවුන්ගේ ඉතිහාසය, අරගලය මෙන්ම දායකත්වය පිළිගැනීම සහ අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනම අනන්‍යතාවක් ඇති පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ සංඝටක ජනතාවක් ලෙස ප්‍රජාව පිළිගැනීම ඇතුළත් විය. වර්තමාන යථාර්ථයේ සන්දර්භය තුළ, මෙයින් අදහස් කරන්නේ, රට තුළ සමාන පුරවැසියන් ලෙස සමානාත්මතාවය සහතික කිරීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ස්ථිර ක්‍රියාමාර්ගයක්, බලය බෙදාගැනීම, ඔවුන්ට රජයේ සෑම තරාතිරමකම පාලනයේ අර්ථවත් භූමිකාවක් ලබාදීම සහ යම් ආකාරයකින් හෝ වන්දි ගෙවීමයි. නාඋලදී, මාතලේට යන මාර්ගයේ නොයෙකුත් පාර්ශ්ව වල සාකච්ඡා අතරතුර යුක්තිය, වන්දි ගෙවීම සහ තීරණ ගැනීමේ බලයෙන් කොටසක් හිමි ප්‍රජාවක් වෙත මෙම චින්තනය මාරුවීම පැහැදිලි විය. මලයහ දෙමළ ජනතාව වෙනුවෙන් කතා කළ පුද්ගලයන් අවධාරණය කරන ලද්දේ, ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාවක් හෝ ආධාරයක් නොවන බවත්, එක ප්‍රජාවකට හිමිවන ප්‍රතිලාභ තවත් ප්‍රජාවකට නොවැළැක්විය යුතු සමාන පුරවැසියන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමක් බවත්ය.

Sri Lanka: Victim community rejects proposed "National Unity and Reconciliation Commission" • Sri Lanka Brief

ආණ්ඩුවේ මෑතකාලීන යෝජනාවක් වන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසම (සත්‍ය කොමිසම) පිහිටුවීම සඳහා වන නීති කෙටුම්පත කඩිනමින් යථාර්ථයක් බවට පත්කිරීමයි. 1983 සිට 2009 දක්වා කාලය තුළ රට අත්විඳින ලද යුද්ධයේ කොටසක් පමණක් ආවරණය කරමින් සකස් කර ඇති මෙම සත්‍ය කොමිසමේ විෂයපථය ඕනෑවට වඩා පටු ය. අතීතයෙන් මිදී සමගියෙන් ඉදිරියට යෑමට නම් සත්‍යය පිළිබඳ විශාල ගණන් බැලීමක් රටට අවශ්‍ය වේ. මලයහ දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කිරීම සහ පුරවැසි අයිතිය ප්‍රතික්ෂේප කිරීම, වගවීමකින් තොරව පාලනය කිරීමේ වේදිකාව සකස්කර ඇති අතර, එය අවසානයේ රට දැනට පත්ව ඇති කනගාටුදායක තත්ත්වයට ගෙන ඒමට දායක වී තිබේ. යටත් විජිත සමය ඇතුළු අතීතයේ වැරදි නිවැරදි කිරීම සඳහා පුලුල් සත්‍ය කොමිසමක් ස්ථාපිත කළ යුතුය. එවැනි පුළුල් සත්‍ය කොමිසමකට තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා මරණ මංපෙත තුළ ගමන්ගත්තවුන්, වසර 200කට වැඩි කාලයක් ගිවිසුම්ගත කම්කරුවන් ලෙස අතිවිශාල ජනකායක් අසාධාරණ ලෙස සිරගත කිරීම, වසර 75කට පෙර ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සහ වගවීම, වන්දි ගෙවීම හා ආයතනික ප්‍රතිසංස්කරණ ලෙස අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුය.

  • ආචාර්ය ජෙහාන් පෙරේරා (ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ)
42.31%
17.27%
32.76%