June 15, 2023

මනුෂ්‍ය ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව ප්‍රාථමික සෛල භාවිත කරමින් ලොව ප්‍රථම කෘතිම මානව කලලයක් වැනි ව්‍යුහයන් නිර්මාණය කළ බව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර ඇත.

එම පර්යේෂකයන්ට අනුව මෙම කළල වැනි ව්‍යුහයන් මානව සංවර්ධනයේ මුල්ම අවධියේ පවතී. නිදසුනක් ලෙස ඒවාට ස්පන්දනය වන හදවතක් හෝ මොළයක් නොමැත.

එහෙත් විද්‍යාඥයන් පවසන්නේ ජානමය රෝග හෝ ගබ්සාවීමට හේතු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට යම් දිනක මෙම සොයාගැනීම උපකාරයක් විය හැකි බවයි.

කෙසේවෙතත් මෙම පර්යේෂණය තීරණාත්මක නෛතික සහ සදාචාරාත්මක ප්‍රශ්න මතු කරන අතර, එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවලට කෘතිම කළල නිර්මාණය කිරීම හෝ ප්‍රතිකාර කිරීම පාලනය කරන නීති නොමැත.

මෙම ක්‍ෂේත්‍රයේ සොයාගැනීම්වල වේගය සහ මෙම ආකෘතිවල වර්ධනය ජීව ආචාර විද්‍යාව පිළිබඳ විශේෂඥයන් තැතිගන්වා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.