March 11, 2025

ආකර්ෂණීය පොළියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන් කිහිපදෙනකුට වංචා කර රුපියල් මිලියන 45 කට අධික මුදලක් රැස්කළ කාන්තාවක් හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය හැටන් මහේස්ත්‍රාත් එම්. ෆාරුක්ඩීන් වෙත ඉදිරිපත් කර මාර්තු 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු දිලිනි ෂාමෙන් ෂොක්මන් (31) බදුල්ල කන්දෙගෙදර පදිංචිකාරියක් වන අතර දරුවන් තිදෙනකුගේ මවකි.

හැටන් ප්‍රදේශයේ කාන්තාවක් රවටා ඇයගෙන් රුපියල් ලක්ෂ 5 ක් ලබාගෙන ඇයව මගහැර ගිය මෙම සැකකාර කාන්තාව මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ විට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇති බව පොලිසිය අධිකරණයට පවසා ඇත.

ඇයට සෑම මසකම අවසාන ඉරිදා හැටන් පොලිසියට වාර්තා කරන ලෙස නියෝග කර තිබුණද, ඇය එය නොසළකා, මාස පහකට වැඩි කාලයක් අධිකරණය මඟ හැර සිටි අතර, අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබිණි.

දුම්රියෙන් පැමිණෙන මිතුරෙකු එනතුරු බලා සිටියදී ඇය හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.