August 30, 2024

“දරුවා චීස් කන්න ආසයි. අරන් දෙන්න විදිහක් තිබුණේ නෑ. ඒකයි චීස් රෝල් දෙකක් සොරකම් කළේ. වරද පිළි ගන්නවා ස්වාමීනී” යැයි රුපියල් 1568 ක් වටිනා චීස් රෝල් දෙකක් දරුවන්ට දීමට සොරකම් කළ එක්දරු මව කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ ඉදිරියේදී පෙරේදා 28 පැවැසුවාය.

ඇයට අධිකරණයෙන් ඇප නියම කෙරිණ.

මෙලෙස ඇප නියම කෙරුණේ මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකටය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව කෑගල්ල, කරඬුපන ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවෙසකට සතියකට දින කිහිපයක් ගෘහ සේවිකා වක ලෙස සේවය කිරීමට, දරුවා සැමියාට දී පැමිණ ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

වෛද්‍යවරයාගේ නිවසට අවශ්‍ය කරන කෑම බීම තොගයක් රැගෙන යෑමට ඉකුත් (27) වැනිදා කෑගල්ල නගරයේ සුපිරි වෙළඳසලකට පැමිණ ඇති මෙම කාන්තාව භාණ්ඩ ගැනීමට වෙළඳසැල තුළත ගමන් කරමින් සිටි අවස්ථාවේ රාක්කයක අසුරා තිබුණු චීස් රෝල් තොගයක් දැක ඉන් දෙකක් කරේ එල්ලා ගෙන තිබුණු අත් බැගයකට දමාගෙන ඇතැයි කියති.

වෙළඳසලේ සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව එහි සේවක සේවිකාවන් විසින් කාන්තාව අල්ලාගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට බාරදී ඇත.

පසුව සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් පොලිසිය ඇය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (28) ඉදිරිපත් කළේය.

නඩුව නොවැම්බර් 04 වැනිදාට යළි කැඳවන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විස් රෝල් දෙක අදාළ සුපිරි වෙළඳසැලට බාරදෙන ලෙසද දැනුම් දුන්නාය.