October 28, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ද, ආකාරයට දින ගණන් කළ විට මහමැතිවරණයට දින දී ඇත්තේ 51 වැනි දිනයේ බව මෙයට පෙර ලියා ඇත. පනතට අනුව නම්, ඡන්දය පැවැතිය යුත්තේ දින 52 කින් පසුව දවසකය.

නීතියේ ඇත්තේ, නාමයෝජනාවෙන් සති පහකින් පසුව පමණක් ඡන්දය පැවැත්විය යුතු බවය. සති පහකට දවසක් අඩු දිනක් ගැසට් වී ඇති බව ගැසට් එකට දුටු මොහොතේම මම කීවෙමි. සටහන් කළෙමි.

එහෙත්, ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පහක් – හයක් ඇතත්, ඔවුන් කිසිම කෙනෙක් තවම මේ ගැන වචනයක් කියා නැත. ඔවුන් කතානොකරන්නේ, ගැසට් එක නිවැරදි නිසා වියයුතුය.

මැකෝ මහින්ද දේශප්‍රිය ද, හිටපු නි.මැ.කෝ මොහොමඩ් ද දුරකතනයෙන් කීවේ ගැසට් එක නිවැරදි බවය. හිටපු මැතිවරණ කොමසාරිස්තුමා, ‘‘එතුමා උපදේශක ලෙස කටයුතු කරන නිරීක්ෂණ සංවිධානය තහනම් කරනවාට බයේ එතුමා එසේ කියන්නේ දැයි මම ඇසුවෙමි‘‘. අම්බලන්ගොඩයෝ එහෙම බයත් නැති බව අපේ හිත හොඳ චණ්ඩියා කියයි.

මැකො සමන් ශ්‍රී රත්නායක දෙරණට ඇවිත් මේ ගැන කතාකරන්නට කෙළින්ම ‘නාමයෝජනා අවසන් වෙච්ච දවසේ ඉදලා දින සිට දින 35 ක් හෝ 49 කින් ඡන්දය පැවැත්විය යුතුය” යැයි කෙළින්ම කීවේය. ගැසට් පත්‍රයෙන් 52 දින සහ 66 වන දිනය අතර දිනයක, ඡන්දය පැවැත්විය යුතු බව ඔහු කියයි.

මේ කතාව ඇත්ත නම්, නාමයෝජනා අවසන් වූ දින සිට ඡන්දය පැවැත්වීමට යෝජිත නොවැ. 14ට ඇත්තේ දින 34 කි. යෝජිත දිනයට නාමයෝජනාවේ සිට ඇත්තේ දින 51 කි. (ඔබත් ගණන් කර බලන්න.) ප්‍රශ්නය ඇත්තේ එතැනය.

දවස් 51 – 52 වෙනසක් නැතැයි සමහරු කියති. මට පෞද්ගලිකව නම්, දවස් 49 න් තිබ්බත්, දවස් 50 තිබ්බත් වැඩි වෙනසක් නැත. නිදහස් හා සාධාරණ මැතිවරණ අඩු මාසයෙන් ඉපදිය යුතු නැති, කිරෙන් බාල විය යුතු ද නැති පාරමිතාවක් බව මම දැඩිව විශ්වාස කරමි. එය නීතියට අනුකුලවම විය යුතුමය.

යම් හෙයකින්, මැතිවරණ දිනය වෙනස් කරන්නට බලධාරීන් තීරණය කරන්නේ නම්, 1982 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තිය අනුව කටයුතු කරමින්, නව දිනය සහිත අලුත් ගැසට් පත්‍රයක් මුදුණය කළ යුතුය.

අවුල සරලව

ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තිය යටතේ, සැප්. 24 දින අංංක 2403/13 දරන ගැසට් නිවේදනයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැර, ඔක්. 4 සිට ඔක්. 11 දක්වා නාමයෝජනා බාර ගන්නට නිවේදනය කළේය. එහි නිත්‍යානුකුල බවට තර්කයක් නැත.

එතුමාගේ නිවේදනයේ, ඡන්දය පැවැත්වෙන දිනය ලෙස නොවැ. 14 දින නිවේදනය කළේය. පනතට අනුව, නාමයෝජනා අවසන් දිනයේ සිට ඡන්දය පැවැත්වෙන දිනට අවම වශයෙන් සති පහක්වත් පැවතිය යුතුය. දැන් ඔබ ඔබේ ක්‍රමයකට ගණන් කරන්න. ඔක්. 11 දින සිට සති 5 ක් ගෙවෙන්නේ නොවැ. 14 දිනට ද? නැතිනම්, නොවැ. 15 දිනට ද?

මේ සමඟ අමුණා ඇති කැලැන්ඩරයට අනුව නම්, සති පහ ගෙවෙන්නේ, නොවැ. 15 යි. බොහෝදෙනා මැතිවරණය කල්දමනු ඇතැයි සිතන්නේ ඒ නිසාය. විමසන්නේ ද ඒ නිසාය.

අවුලකට තියෙන්නේ, නොවැ. 15 පෝය දිනයකි. නිවාඩු පනතට අනුව, පෝය දිනක ඡන්දය තියන්නට බැරි බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ලියැවී ඇත.

හරි අපි එහෙනම්, නොවැ. 16 ඡන්දය තියමුද?

ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් පන්සල්වලවල ස්ථානගතය. ඡන්ද මධ්‍යස්ථානය මැතිවරණ නිලධාරීන් අතට බාරදෙන්නට පෝය දවස නිසා බැරිය.

ඊළඟ දවසේ එනම්, නොවැ. 17 ඉරිදා ද නිවාඩු පනතට අනුව ඡන්දය තියන්නට බැරිය.

උසස් පෙළ විභාගය නොවැ. 25 පටන් ගත යුතුමය. නොවැ. 23 වන විට විභාග ශාලා, විභාග දෙපාර්තමේන්තුවට පාසල් බාරදිය යුතු නිසා එදිනට ද ඡන්දය බැරිය.

දැන් ඡන්දය නිත්‍යානුකුලව තියන්න නම්, නොවැ. 18 සිට 22 දක්වා දිනයක් තෝරාගත යුතුය.

ලංකාවේ එදා මෙදා තුර ඡන්ද පවත්වා ඇත්තේ, ව්‍යවස්ථාව, මැතිවරණ පනත සහ කේන්දර ග්‍රහචාරයට අනුව ය. කේන්දර බලන අය, කියන්නේ ඒ ආසන්නයේම මොකක්දෝ ග්‍රහ මාරුවක් ද ඇති බව ය.

මම සැප්. 24 දින මේ ගැන ලියා ඇත. එහි ද මම පැවසූවේ, නොවැ. 22 ට ආසන්න දිනක ඡන්දය පැවැත්වෙනු ඇති බව ය. විභාගය නිසා එය නොවැ. 20 විය වනු ඇතැයි එමගින් ඉඟිකළෙමි.

ජනාධිපති ගැසට් පත්‍රය පළකළ විට, මේ අය මට කීචොක් කළෝය. මම අතේ ඇඟිලි ද, කකුළේ ඇඟිලි ද, පරිගණක ද, නියපොතු ද කපමින්, කඩමින් ගණන් හැදුවෙමි.

මේ ගැන පුරවැසියකු ලෙස, දැනුම්දිය යුතු ඉහළම තැන්වලට ද, ආයතනවලට ද කීවෙමි. වරදක් දුටු විට එය නිවැරදි කිරීම, සාමාන්‍ය සිරිතයි. ආණ්ඩුව ගැසට් රිවස් කිරිල්ලට අලුත් දෙයක් නොවේ. නීතිවිරෝධී දෙයක් කරනවාට වඩා එය ශිෂ්ඨ ක්‍රමය යි.

හරි හරි දැන් ඡන්දය කවද්ද?

ව්‍යවස්ථාවට අනුකුලවත්, පනතට අනුකුලවත් රටේ සංස්කෘතික ආගමික සාධක ද ගරුකරමින්, නොවැ. 18 සිට 22 දක්වා දවසක පවත්වා සුදුසු දවසක පාර්ලිමේන්තුවට රැස්කර කතානායකවරයෙකු/කතානායකවරියක පත්කර ගන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නැත.

ඡන්ද ගැසට් නිවේදනය රිවස් කිරීමෙන්, එය පහසුවෙන්ම කළහැකිය.

(රජිත් කීර්ති තෙන්නකෝන්)

42.31%
17.27%
32.76%