April 29, 2025

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ‘පිරිවැය ප්‍රතිසාධන මිලකරණය යථාතත්ත්වයට පත්කිරීමේ’ ක්‍රමවේදය මත පදනම්ව, ඇමරිකානු ඩොලර් මිලියන 344 ක ඊළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට විවෘත කරන බැවින්, රජයට විදුලි මිල වැඩි කිරීමට බලකෙරී ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමේදී, වත්මන් රජය මෙම වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට 20 කින් අඩුකළේය.

කෙසේවෙතත්, එය පිරිවැය-ප්‍රතිසාධන මිලකරණයක් නොවන බැවින්, මෙම පියවර සම්බන්ධයෙන් IMF සිය අප්‍රසාදය පළකළේය.

IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF සහ ශ්‍රී ලංකා බලධාරීහු මෑතකදී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියහ.

IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මුදලක් ලබාගත හැකි අතර, එමඟින් විධිවිධානය යටතේ ලබා දෙන මුළු IMF මූල්‍ය ආධාර ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක් පමණ වේ.

කෙසේවෙතත්, කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන අතර, එය පහත සඳහන් කරුණු මත රඳාපවතී:

(i) විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධයෙන් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම;

(ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වයන් සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමුකරන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම;

මේ වසරේ ජූලි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි මිල ගණන් සංශෝධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව විමසූ විට, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉක්මණින් ඉදිරිපත් කිරීමට නියමිත අනුපාත ගණනය කිරීමේ ක්‍රියාවලියක යෙදීසිටින බවයි.

“අපි ඊට අදාළ පිරිවැය ගණනය කරනවා. විදුලිබල උත්පාදනය සඳහා අප රඳාපවතින ප්‍රභවයන් අනුව එය වෙනස් වෙනවා. සමහර විට, වැසි වැටුණොත් අපි ජල විදුලිය මත වැඩිපුර රඳාසිටිනවා. එසේ නොමැති නම්, එය බොහෝ දුරට තාප විදුලිය මත. එසේම, දිවා කාලයේ බලශක්ති අවශ්‍යතා සඳහා අපි සූර්ය බලශක්තිය මත යැපෙනවා ”ඔහු පවසා ඇත.