June 29, 2024

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීන් විසින්, සුදුසුකම් ලැබීමේ ඉසව්ව සඳහා සුදුසු ධාවන පථයක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී තරුෂි කරුණාරත්නට 2024 ප්‍රංශයේ පැරිස් හි පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලට පිවිසීමේ අවස්ථාවට බාධා එල්ල වී තිබේ.

තරුෂි කරුණාරත්න පසුගිය සිකුරාදා දියගමදී පැවැති 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූවාය.

පැරිස් ඔලිම්පික් උළෙලේ ස්ථානයක් සඳහා තරඟ වදින තරුෂිට වර්ෂාවෙන් හා ජලයෙන් යටවූ ධාවන පථ මත ඇයගේ ඉසව්වට සහභාගී වීමට සිදුවිය.

එම ඉසව්ව ප්‍රමාද කර, ධාවන පථයේ පළමු මංතීරුවේ ජලය පිරිසිදු කරන ලෙස ඇයගේ පුහුණුකරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, එම ඉල්ලීම ඉටුව නොතිබූ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොගැලපෙන තත්ත්වයන් යටතේ තරග කිරීමට සිදුවිය.

මේ හේතුවෙන් 02:03:00 කාලයක් පුහුණුවීම්වලදී වාර්තා කළ ඇති තරුෂි කරුණාරත්නට සිය මීටර් 800 කාන්තා ඉසව්ව අවසන් කිරීමට සිදුවූයේ 02:04:22 කාලයකදීය.

මෙය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඇයගේ ස්ථානයක් රැකගැනීමේ අවස්ථාව අනතුරේ හෙළීමකි.

තරුෂි කරුණාරත්නගේ පුහුණුකාරිනිය පවසන පරිදි සුදුසු තත්වයන් යටතේ තරඟ කිරීමට ඇයට හැකි වූයේ නම්, ක්‍රීඩිකාව තම ලෝක ශ්‍රේණිගත කිරීම් 39 දක්වා ඉහළ නංවාගැනීමට හැකිවන නමුත්, පවතින තත්ත්වය මත ඇයට පැමිණීමට හැකිව ඇත්තේ, 42 වැනි ස්ථානයටය.

පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලබනු ඇත්තේ 2024 ජුනි 30 වැනිදා අවසන් වන විට හොඳම කාලයන් වාර්තා කරන 48 දෙනකු පමණකි.

තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු පවසන්නේ, ලොව පුරා තවත් දින දෙකක් තරඟ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට මෙම තත්වයන් යටතේ තරුෂිට, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය හැකි බවයි.