42.31%
17.27%
32.76%
October 13, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඊයේ(12) ජනාධිපති මාධ්‍ය ඒකකය සංවිධානය කරන ලද ජනමාධ්‍ය හමුවකට එක්ව සිටීම මේ වන විට දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබේ.

ඉදිරියේදී වීරසේකර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රවාහය සමග එක්වන බවට මෙමගින් ඉඟියක් සපයා ඇති බවට ඇතැමුන් අදහස් පළකර ඇත.

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාවක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයද දරන, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මෙම ජනමාධ්‍ය හමුවේදී පැවැසීය.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ‍මෙසේද පැවසීය.

“මෙරට තුළ යුද අපරාධ සිදුවූ බව කියමින් ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම නොයෙක් ආකාරයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවතුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. ඒ නිසා රටේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමේ වාර්තාවක් අප කාරක සභාව මැදිහත්ව සකස් කර තිබෙනවා.

අපි ජිනීවා මානව හිමිකම් කමිටුවට දැන්වත් සත්‍ය තත්ත්වය තේරුම් කරදිය යුතුයි. මේ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් සකස් කර තිබෙන විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනවා. එහි රටේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.”

42.31%
17.27%
32.76%