October 10, 2023

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ජාතික මැතිවරණ කල්දැමීමේ තවත් උත්සාහයක් දැයි දේශපාලන කවයන් තුළ බියක් ඇති කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වේ.

මිශ‍්‍ර ක‍්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා නව ක‍්‍රමයක් හඳුන්වාදීමට අනුමැතිය ඉල්ලා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවට අනුව ඡන්දදායකයන් විසින් මන්ත්‍රීවරුන් 160 දෙනකු පාර්ලිමේන්තුවට තෝරාගන්නා අතර, ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රීවරු 65ක් පත්කෙරෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට නියමිතය.

සමානුපාතික ඡන්ද ක්‍රමය මත සහ මනාප ඡන්ද ක්‍රමය මත පදනම් වූ වත්මන් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවය දැඩි අවධාරණය කෙරී ඇත්තේ, එය දේශපාලනයේ දූෂණයට, දේශපාලන ඔළුගෙඩිවලට, පක්ෂ මාරුකිරීම් වලට සහ පක්ෂ අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයට තුඩු දී ඇති බැවිනි.

2002/2004 අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලනය සමයේ මෙවැනිම යෝජනාවක් වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලදී.

එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස එහි ප්‍රධානියා වූයේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනයි.

මෙවර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කෙතරම් බරපතළ ලෙස කටයුතු කරනවාදැයි යන්න පිළිබඳව අදහස් දක්වමින් ඇමැති විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ, “ඒ නිසා තමයි මම ඉදිරිපත් කළ යෝජනාව ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්නේ” යනුවෙනි.

කෙසේ වෙතත්, මෙය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයට මුවා වී ජාතික මැතිවරණ කල්දැමීමේ උපක්‍රමයක් දැයි විරුද්ධ පක්ෂ බිය පළකරයි.

ඔවුන් තම බිය සාධාරණීකරණය කරන්නේ, නව මැතිවරණ ක‍්‍රමය නිසා ඇති වූ නීතිමය උගුලක් මත 2017 වසරේ සිට පළාත් සභා මැතිවරණය ප‍්‍රමාද වී ඇතැයි යන පදනමය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවල දී තමන් කිසිවිටෙක මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව හෝ මැතිවරණයක් කල්දැමීම පිළිබඳව සාකච්ඡා නොකළ බවයි.

පසුගිය කාලයේ ජනාධිපතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට කතා කළේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් පමණක් බවද ඔහු පවසා ඇත.