Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගතව සිටින මෙරට ශ්‍රමිකයන් තමන් කැමති පක්ෂය හෝ අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් යළි මෙරටට පැමිණීම මෑතකාලීන මෙරට ඡන්ද ව්‍යාපාරවල දැකිය හැකි ප්‍රධාන කරුණක් විය. 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී විදේශගතව සිටි බොහෝදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණියහ. තම වත්කමින් ගුවන් ටිකට් පතක් මිලදී ගෙන මෙරටට ඒමට හැකි බොහෝ දෙනා එම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිණෙනු දැකගත හැකිවිය. එහෙත් එසේ කිරීමට ආර්ථික ශක්තියක් නොමැතිවූවන් සිටියේ කනස්සල්ලෙනි. ඒ තමන්ගේ ඡන්දය තමන් කැමති අයකුට ලබාදීමට නොහැකි නිසාය.
ඡන්ද හිමියන්ගෙන් 10%ක් පිටරට
ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන විසිදෙකයි දශම දෙකකි(22.2). රටේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන දාසයයි දශම අටකි(16.8). තිබෙන දත්තවලට අනුව ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් සංඛ්‍යා මිලියනන එකයි දශම පහකි (1.5). ඡන්දය හිමි ජනතාවගෙන් ආසන්න ලෙස සියයට දහයක පමණ ප්‍රතිශතයක් විදේශගත ශ්‍රමිකයයෝ ය. ඇතැම් මැතිවරණවලදී මෙම සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාවම අහිමිවෙයි. විශේෂයෙන්ම පුංචි ඡන්ද ලෙස හඳුන්වන පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම්වලදී විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දය පිළිබඳ උනන්දුව ඇත්තේ, අවම වශයෙනි. එහෙත් අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵලය දෙස දෙස බලන විට, ඇතැම් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතවලට, විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දයද එක්වූයේ නම්, ඇතැම් ඒවා වෙනස් මුහුණුවරක් ගනු ඇතැයි උපකල්පනය කළ හැකිව තිබිණි. රටේ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දය ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එය මේ වනවිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක් විසින්ම නොසළකා හරිමින් සිටියි.
විදේශගත ජනතාවගේ ඡන්ද බලය – අන්තර්ජාතික තත්ත්වය
සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අයිතිය ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය 1990 දී එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී සම්මත විය. එම සම්මුතියට අනුව විදේශගත තම ජනතාවට ඡන්ද බලය ලබාදීමට රාජ්‍යයන් ක්‍රියා කළයුතු බව එහි 41 වැනි වගන්තියේ සඳහන් වෙයි. එම සම්මුතියට අනුව යමින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඡන්ද බලය ලබාදීම කෙරෙහි දේශපාලන අධිකාරියට සහ මැතිවරණ කොමිෂන්ට කොමිසමට අඛණ්ඩව බලකළේය. 2016 දෙසැම්බර් මාසයේදී එවක කථානායක ධුරය දැරූ කරූ ජයසූරිය විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන්නේ කෙසේදැයි සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් පත්කළේය. එම තේරීම් කාරක සභාව විසින් කරුණු කිහිපයක් පිළිබඳ සොයාබැලීමක් සිදුකෙරුණු අතර, එහිදී රටින් බැහැරව සිටිමින් ඡන්දය භාවිත කිරීම සඳහා වෙනත් රටවල භාවිත වන ක්‍රමවේදය පිළිබඳව ද ඔවුහු සොයාබැලූහ. එසේම දැනට විදේශගත සිටින රට වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයන රටවල් පිළිබඳවත් අධ්‍යයනය කරන ලදී. මීට අමතරව මැතිවරණ කොමිසමේ මතයද ඔවුහු විමසා බැලූහ. එහිදී මෙම කාරක සභාවට පෙනීගියේ ඇතැම් විදේශගතවූවන් තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන විට නැවත මව්බිමට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බවය. වෙනත් රටවල භාවිත කරන ක්‍රමවේද පිළිබඳ මෙම කාරක සභාවට පෙනීගිය කරුණක් වන්නේ, ඇතැමුන් රටේ තානාපති කාර්යාලයට පැමිණි ඡන්දය භාවිත කිරීම සිදුකරන අතර තවත් රටවල තැපැල් ඡන්ද සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම බහුලව සිදුවන බවකි.
ලංකාව සිටින්නේ කොතැනද ?
මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (2021) විදේශගත ඡන්ද අයිතිය සඳහා නිර්දේශ ඉදිරිපත් කළ නමුත් අවාසනාවන්ත ලෙස ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ විෂය සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළ වත්මන් කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට රටවල් හතළිස් පහක් සූදානම්ව සිටි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ, මේ සම්බන්දයෙන් පත්කළ පෙර කී කාරක සභාව ඒ වන විට කෙටුම්පත් වාර්තාවක් සකසා ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බවයි. ඔහු තවදුරටත් මේ පිළිබඳ පවසන්නේ, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම සඳහා දේශපාලන පක්ෂවලින් ලැබෙන සහය ඉතා දුර්වල බවකි. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරන්නේ, වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද අතර, සිය රටේ තානාපති කාර්යාලවල පැමිණ ඡන්දය භාවිත කිරීම, තැපැල් ඡන්දය සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන බව කොමිසම හඳුනාගත් බවකි. එහිදී ඔහු පෙන්වාදෙන්නේ මෙවැන්නකි.
“මේකෙන් හඳුනාගත්තා වඩාත් ප්‍රායෝගික හැකියාව තියෙන්නේ සහ ගැටලු අඩු, තානාපති කාර්යාලයට ඇවිල්ල ඡන්දය පාවිච්චි කරන ක්‍රමවේදය සහ තැපැල් ඡන්දය කියන එක කියලා. ඒ ක්‍රමයේ වාසි අවාසි දෙකම තියෙනවා. මොකද තැපැල් ඡන්දය මගින් ඡන්දය ප්‍රකාශ කරන විට අදාළ පුද්ගලයාම ඡන්දය දුන්න ද කියල තහවුරු කර ගැනීමේ ගැටලුව තියෙනවා. අවුරුදු පහක් ඇතුළත එක වාරයක්වත් ලංකාවට ඇවිල්ලා තියෙන්න ඕනේ කියන එක ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සාධකය ලෙස කාරක සභාව තීරණය කර තියෙනවා. අපේ රටේ ජාතික ආදායමෙන් 35% එකතු කරලා දෙන්නේ මේ අය. ඒ වගේම රටේ ජනගහණයෙන් 10%ක්. ඉතිං මේක අත හරින්න බැරි කාරණයක්”
රට ගිය අයගේ ඡන්දය වැදගත් ඇයි ?
විදේශගත ශ්‍රමිකයන් යනු ඡන්දයකදී ප්‍රබල සාධකයක් බව නොකිවමනාය. මේ වන විට පවතින සංඛ්‍යාලේඛනවලට අනුව එම සංඛ්‍යාව ලක්ෂ තිහකට ආසන්න ය. මෙතරම් පිරිසක් විදේශ ගතව සිටියද ඔවුනට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායකගේ අදහස ද අපි විමසා සිටයෙමු. ඔහු පවසන්නේ, එම විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ 2003 සිට වාර්තා අටක් පමණ ඉදිරිපත් වී ඇති බවයි.
“පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල්,ජනාධිපති කොමිෂන් සභාවන් ඊට අමතරව යම් යම් කමිටු වාර්තා ආදිය ඔස්සේ මේ පිළිබඳ කතාකර තිබෙනවා. මේ සියල්ලම කියා තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කළ යුතුයි කියා. හිටපු අගමැතිදිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙදි කියලා තිබ්බා මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳ තාක්ෂණික කාරණා සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්න කියලා. යෝජනා බොහෝ තැන්වලින් යෝජනා ඇවිත් තිබෙනවා, එය කළ යුතුයි කියලා. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ විසිපහකට තිහකට අසන්න පිරිසක් විදේශගතව සිටිනවා. මැදපෙරදිග ලක්ෂ විසිදෙකක් ඉන්නවා. ඉතිරි අය සිටින්නේ අනෙක් රටවල. මේ හැමෝටම ඡන්ද අයිතිය තියෙනවා.”
කෙසේවෙතත් විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු කිහිපයක් තිබෙන බව මංජුල ගජනායක පෙන්වාදෙයි. ඔහු පවසන ආකාරයට අංක එකේ ගැටලුව වන්නේ, ශ්‍රී ලංකාවේ බොහෝ කරුණු ගැන මෙන්ම විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන්ද නිරවද්‍ය යාවත්කාලීන දත්ත පද්ධතියක් නොමැති වීමය.
“ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග කීදෙනෙක් සිටිනවාද, අනෙක් රටවල කීදෙනෙක් සිටිනවාද කියා නියම දත්ත පද්ධතියක් අපිට නැහැ. මම මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ආර්.ටී.අයි.(තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කර) දාලා ගත්ත තොරතුරු සහ විවිධ තැන්වලින් අර ගත්ත කරුණු මතයි. ලංකාවේ 2012 වසරෙන් පසුව තවම සංගණනයක් කරලා නැහැ. දෙවැනි කරුණ තමයි ඡන්දය ප්‍රකාශ කිරීම දෙන්නන් වාලේ දෙන්න ගියොත් එය විපතක් බවට පත්වෙනවා. මෙි පිළිබඳ නිසි අවබොධයක් තිබිය යුතු වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබව නිසි අවබෝධයක් තිබිය යුතුයි. ඒ පිළිබද නිසි අධ්‍යාපනයක් තිබිය යුතුයි. ඒ වගේම මැදපෙරදිග විශාල පිරිසක් සිටිනවා. නමුත් ඔවුන් කොහොමද ඡන්දයක් ප්‍රකාශ කරන්න පැමිණෙන්නේ. වැඩි නීතිරීති යටතේ තමයි ඔවුන් නිවාසවල සේවය කරන්නේ. මෙය සිදුවිය යුත්තේ ද්වීපාර්ශ්විකව සහ බහුපාර්ශ්විකව රටවල් අතර සිදුවිය යුතු එකඟතා මතයි.”
විදේශගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සුරකින රටවල්
අද වන විට ලොව පුරා රටවල් 115ක් පමණ විදේශගතව සිටින සිය පුරවැසියන්ට, ඔවුන් සිටින රටවලදීම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. දකුණු ආසියාතික රටවල් වන මාලදිවයින සහ ඉන්දියාව තම රටේ ජනතාවට විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම සලසා ඇත.
එසේම එම රටවල් විදේශගතව සිටින සිය ඡනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා විවිධ ක්‍රම භාවිත කරයි. ඒවා තම රටට ගැළපෙන ආකාරයට ඔවුන් නිර්මාණය කරගෙන ඇත.
” වෙනත් රටවල ඡන්දය දෙන්නේ, ඡන්දයට පෙර ස්ථාපිත කර තිබෙන ඡන්දය මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම හරහායි. නැත්නම්, එම්බසිවල ස්ථාපිත කර තිබෙන ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම. නැතිනම් තැපැල් ඡන්ද ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම. එසේ නැත්නම් අන්තර්ජාල ක්‍රමයට ප්‍රකාශ කරනවා. නමුත අපට එම්බසිවල ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කළොත් එහි ගැලුවක් ඇතිවෙනවා. ඇතැම් රටවල සමහර අයට කිලෝමීටර් දහස්ගණන් දුර ගෙවාගෙන ඡන්දය දැමීමට එන්නට සිදුවෙනවා. එය එතරම් ප්‍රායෝගික නැහැ. ඇමරිකාවේ වගේ රටවල කළින් ස්ථාපිත කර තිබෙන ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. තවත් පිරිසක් තැපෑලෙන් ඡන්දය භාවිත කරනවා. මාලදිවයින සිය රට වැසියන් වෙනුවෙන් වෙනත් රටවල පිහිටි සිය මහකොමසාරිස් කාර්යාලවල හෝ තානාපති කාර්යාලයේ ඡන්ද පෙට්ටියක් තියෙනවා. සමහරක් රටවල් අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කරනවා. ඉන්දියාවේ ඒ අවසර දීලා තියෙන්නෙ තානාපති සේවයේ ඉන්න පිරිසට සහ හමුදාවෙන් වෙනත් රටවල ඉන්න ඉන්දියානුවන්ටයි. හැම කෙනාටම ඔවුන් ඒ අයිතිය දීලා නෑ. ඉරාකය යුද්ධයෙන් පසුව මෙය අත්හදා බැලුවා. නමුත් එක බැලට් පේපර් එකකට ඔවුන්ට ඩොලර් පනහක් වියදම් වෙලා තිබෙනවා. එය ඔවුන්ට දරාගන්නට බැරිවුණා.” යැයි මංජුල ගජනායක පෙන්වාදුන්නේය.
ගෙවී ගිය ජනාධිපතිවරණයේ සිදු වූ සිදුවීම වැන්නක් ඉදිරි මැතිවරණයකදී සිදුවුවහොත් මෙම විදේශගතව සිටින පිරිසගේ ඡන්දය තීරණාත්ම සාධකයක් වන්නට පුළුවන. එසේම මහමැතිවරණයකටද මෙය පොදුය.
“සියලු ඡන්දදායකයන් එකතු වී තෝරන්නේ පාර්ලිමේන්තුවට පුද්ගලයන් දෙසිය විසිපහක් සහ ජනාධිපතිවරණයක නම් එක් ජනාධිපතිවරයෙක් පමණයි. ලංකාවේ වැඩිම විදේශගත ශ්‍රමිකයන් පිරිසක් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි. කුරුණෑගලින් විදේශගත වූ ශ්‍රමිකයන් වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිගයි. ඒ අනුව කුරුණෑගලින් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීන් සංඛ්‍යාවට මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දත් එකතු වුණොත් වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව පක්ෂ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. පාලන බලය වෙනස් වෙන්න පුළුවන්. එය තීරණාත්මක සාධකයක්. ඉතින් මේ පිරිස ඇත්තටම තීරණාත්මක සාධකයක් තමයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයන්ගේ ගෝලීය සංසදයේ කැඳවුම්කරු ජානක සේනානායකද මීට මාස කිහිපයකට පෙරව විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතාළේය. ඔහු කියා සිටියේ, මිලියන තිහක් පමණ ශ්‍රී ලාංකිකයන් පිටරටවල සිටින බවත්, එම පිරිසගේ ඡන්දය ලංකාවේ අනාගතයේ තීරණය කිරීමට දැඩි ලෙස බලපාන බවත්ය. එසේම ඔහු තවදුරටත් පෙන්වාදෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනම අංශයක් මැතිවරණ සම්බන්ධව තිබෙන බවත්, එම අංශය මෙවැනි ගැටලු විසඳාගැනීම සඳහා ආධාර දෙන බවත්ය. ඔහු මෙහිදීත් තවදුරටත් සඳහන් කළේ, විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හොඳම ක්‍රමය ඇත්තේ දකුණු කොරියාවේ බවයි. ඒ මාර්ගගත ක්‍රමය බව ඔහු පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවට ද ඡන්ද පත්‍රිකාවක් හෝ මාර්ගගත ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවත් ඔහු පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවූයේ 1931 වසරේදීය. ඒ අනුව වයස අවුරුදු විසි එකට ඉහළ සියලුම දෙනාට ඡන්දය බලය හිමිවිය. පසුකාලීනව අවුරුදු විසි එක අවුරුදු දහ අට දක්වා පහළ වැටිණි. ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට සර්වජන ඡන්ද බලය හිමිවෙයි. ශ්‍රී ලංකාවේ සිටියත් වෙනත් කුමන රටක සිටියත් ඡන්දය යනු රටක පුරවැසියෙක්ගේ අයිතිවාසිකමකි.
රටේ සියලුම දේශපාලකයන්, විශ්ලේෂකයන් සහ බලපෑම් කරන්නන් විසින් මෙම ගැටලුවට ප්‍රමුඛත්වය දීමට සුදුසු කාලය මෙය වේ. මැතිවරණ පනතේ විධිවිධාන වෙනස් කිරීම සහ මූලික පරීක්ෂණ අදියරෙන් ඔබ්බට ගොස් විදේශගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා මැතිවරණ අධිකාරිය බලාත්මක කිරීම වෙනුවෙන් මෙම ගැටලුව නිරන්තරයෙන් මතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව ඉල්ලා සිටිය යුතුය. පවතින සහ අනාගත නීති සමඟ මෙම මූලික අයිතියට ඉඩ දිය හැකි ආකාරයට මැතිවරණ කොමිසම බලගැන්විය යුතුය. එලෙස ඔවුන්ට ඡන්ද බලය ලබා නොදෙන්නේ නම්, එය පැහැදිලිවන එකම රටක් තුළ සංක්‍රමණික සේවකයන්ට වෙනස්කොට සැළකීමක් වන අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ විශ්වීය ඡන්ද බලය පිළිබඳ අයිතියට ගැරහීමක් ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart