October 23, 2023

ශික්ෂණ හා මූලික රෝහල් වෙනුවෙන් ඔක්සිජන් උත්පාදන බලාගාර 07ක් සැපයීමට, මීට වසරකට පෙර කැඳවූ ටෙන්ඩරය ලබාදීමේ දීර්ඝ ප්‍රමාදය හේතුවෙන් ඒ සඳහා ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවේ(ADB) අරමුදල්වලින් කොටසක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

අනුරාධපුර, යාපනය, මඩකලපුව ශික්ෂණ රෝහල්වලත්, අම්පාර, මහියංගණය, ඇඹිලිපිටිය, සහ කලවාන යන දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලත් උත්පාදන බලාගාර 07ක් පිහිටුවීමට නියමිත තිබිණි.

ටෙන්ඩරය සාකච්ඡා කිරීම සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් සහ පසුව සැපයුම්කරුවන් දෙදෙනකු අතර ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් එම ක්‍රියාවලිය දිගින් දිගටම ප්‍රමාද වූ අතර මේ නිසා ව්‍යාපෘතිය අඩාළවීමේ තර්ජනයකට ලක්ව ඇති බව වාර්තාවේ.

එම ක්‍රියාවලියේ ප්‍රමාදයක් ඇති බවත් ඇතැම් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ටෙන්ඩර් මණ්ඩලය බෙදී ඇති බවත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ද පිළිගෙන තිබිණි.

ඔහු ‘ඩේලි මෝනිං’ පුවත්පත වෙත පවසා තිබුණේ, ප්‍රසම්පාදන කමිටුවේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳ අරමුදල් සපයන නියෝජිතායතනය කලකිරීමට පත්ව ඇති බවයි.

එම ප්‍රමාදයන් හේතුවෙන් නියෝජිතායතනයේ අරමුදල් ඔවුන් වෙනත් දෙයකට භාවිත කළ හැකි බවට පෙන්වා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ප්‍රසම්පාදන ලේකම් වයි.එල්.එම් නවාවිගේ ලිපියක් මගින් ජනවාරි මාසයේදී කෙටි ලැයිස්තුගත සැපයුම්කරුවන් හතරදෙනාගෙන් එක් අයකුට ටෙන්ඩරය ලබා දී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත්, කෙටි ලැයිස්තුවට ඇතුළත් වූ වෙනත් සැපයුම්කරුවකු මෙම කාරණය අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා ටෙන්ඩරය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අධිකරණය ඉදිරියේ ඇති කාරණයත් සමඟ, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී ඇති අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට කාලය අවසන් වෙමින් පවතින බවත්, එම අරමුදල් වෙනත් කටයුත්තකට භාවිත කිරීමේ අවදානමක් ඇති බවත් දැනගන්නට තිබේ.