December 8, 2023

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායමේ සිසුහු 70ක් පමණ තම උපාධියේ සුදුසුකම් පිළිබඳ අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටිති.

නිවේදනයක් නිකුත් කරමින් එම සිසුන් පෙන්වාදෙන්නේ, 2019 වසරේ විවෘත කරන ලද රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වුවද, මෙම ආයතනය මගින් පිරිනමන වෛද්‍ය උපාධිය දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගෙන නොමැති බවයි.

රජයේ ආධාර ලබන සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ඇති අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුහු අනාවරණ කරති.

“අපි 2019 දී විවෘත කරන ලද මෙම රජයේ අරමුදල් සහිත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුන්. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වුවත් අපගේ විශ්වවිද්‍යාලයෙන් පිරිනමන MBBS උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගත නොහැකි බව එම සභාව විසින් මෑතකදී අපට දන්වා සිටියා. එබැවින් මේ වන විට අපගේ MBBS උපාධිය වලංගු නොවන අතර අනාගතයේ දී වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට අපේ රටේ පිළිගැනීමක් නොලැබෙයි.” යනුවෙන් එම සිසුහු පවසති.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයය ඇතුළු රජයේ අදාළ පාර්ශ්වකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව ද සිසුහු පෙන්වාදෙති.

2024 ඔක්තෝබර් මාසයේදී අවසන් MBBS විභාගය සඳහා ඇත්තේ තවත් මාස 10ක් පමණක් වන අතර, අවසන් වසරේ සායනික පුහුණුව ආරම්භ කිරීමට නිසි විසඳුමක් ලබානොදුනහොත් මෙම විභාගයට පෙනීසිටීමට නොහැකි වනු ඇති බව ඔවුහු අනාවරණ කරති.

නිසි අවසන් වසර සායනික පුහුණු වැඩසටහනක් සහ මහාචාර්ය ඒකකයක් ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායමට අයත් වෛද්‍ය සිසුන් කණ්ඩායම විසින් මේ සතිය මුලදී නිහඬ විරෝධතාවක් ද පවත්වන ලදී.

42.31%
17.27%
32.76%