August 31, 2024

වන අලියකු මරා වළකට දමා පුළුස්සා දැමූ බවට සැකපිට 47 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය වනජීවී කාර්යාලය පවසයි.

මීට දින කිහිපයකට පෙර ඌරන් සඳහා භාවිත කරන විදුලි රැහැනක පැටළී වන අලියා මියයන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළකරයි.

නිකවැරටිය කොටුඅත්තවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මියගිය වන අලියෙකුගේ කොටස් පුළුස්සා වළදමා ඇති බවට ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ ඉඩමේ හිමිකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ සැකකරුට එරෙහිව උගුල් යොදා අලියකු ඝාතනය කිරීම සහ එම ඝාතනය වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසිණි.

මියගිය වන අලියාගේ සිරුර විදුලි කියතකින් කොටස්වලට කපා, පසුව වළදමන්නට ඇතැයි සැකකෙරේ.

බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඊයේ (30) වන අලියාගේ සිරුරු කොටස් ගොඩගනු ලැබීය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ උපදෙස් මත සිරුර ගොඩගෙන යළි මිහිදන් කිරීමට පියවර ගෙන ඇත.

මියගිය වන අලියා අඩි 7ත් 8ත් අතර උසැති සතකු බව විමර්ශනවලදී අනාවරණවී ඇත.