April 21, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වේ.

පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණ නියෝගයකින් වළක්වා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විසින් අද (21) අතුල්කෝට්ටේ පැවත්වූ විධායක කමිටු රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය අප්‍රේල් 04 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 08 වැනි දින පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස වරාය, ගුවන් සේවා සහ නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත් කරගන්නා ලදී.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු තමා දන්නා බවත් ඔහුගෙන් විමසීමක් කළහොත් හෝ නියෝගයක් නිකුත් කළහොත් අධිකරණයට තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාර්තු මස මුලදී ආන්දෝලනයට තුඩු දී තිබිණි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිසේන කියා සිටියේ අදාළ තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවත් ඒ සමගම එම තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගේ වගකීමක් බවත්ය.

මේ පසුබිම යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පසුගිය අඟහරුවාදා (16) පැවසීය.

මෙම ඉල්ලීම්වලින් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයන් විසින් ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඊට අමතරව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන් ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ඉල්ලීම් සැළකිල්ලට ගෙන ඉදිරි සතිවලදී අවසන් තීරණයකට එළැඹෙන බව රාජපක්ෂ පවසයි.

42.31%
17.27%
32.76%