October 24, 2023

අභාවප්‍රාප්තවූ ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු වෙත භාරදීමටත් දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.

ඒ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක මතුකරමින් ඔහුගේ බිරිඳගේ සහෝදරිය විසින් කරන ලද පැමිණිල්ලක් සළකා බැලූ අවස්ථාවේදීය.

ඊට අමතරව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු ඉදිරියේ පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.

සිසිලියා කොතලාවල සිය සැමියාගේ දේහය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඇයගේ වැඩිමහල් සොහොයුරිය වන ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දුට දේහය භාරදීමට එකඟ වූ බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

දේහය ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු වෙත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඉන්පසුවය.

ෂෙරීන් විජයරත්න ප්‍රනාන්දු පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ, ඔහු මියයන විට තම සහෝදරියගෙන් වෙන්ව ජීවත්ව සිටි නිසා මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහු භාවිත කළ ඖෂධ, ඖෂධ නියම කළ සහ ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පිළිබඳ කිසිවක් නොදන්නා බවත් මේ තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශකර ඇත.

ඒ අනුව, පශ්චාත් මරණ පරීක්ෂණය ඉරිදා පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු ඉදිරියේ පැවැත්විණි.

මරණකරුගේ වම් පෙණහැල්ලේ සැරව පැවතීම නිසා සහ හදවත විශාලවීම නිසා මරණය සිදුවූ බව තීරණය කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.

මියගිය පුද්ගලයාගේ බාහිර තුවාල කිසිවක් නොමැති බවත් ඔහු මිය යෑමට පෙර නිසි ඖෂධ ලබාගෙන ඇති බවත් වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ.

84 වැනි වියේ පසුවූ ලලිත් කොතලාවල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් 21 වැනිදා අභාවප්‍රාප්ත විය.

42.31%
17.27%
32.76%