December 28, 2024

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගන්නා හෝ පළවා හරින ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදේශක පශු වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.

පිටව යෑම ප්‍රතික්ෂේප කරන අලි ඇතුන් රැසක් ඔයාමඩුව ප්‍රදේශයේ සිරවී සිටින බව ඔහු සඳහන් කරයි.

අලි දැනට සිටින්නේ ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළ ප්‍රදේශයේය.

“දැන් අලි ඉන්න ප්‍රදේශයට ගිය එළදෙනක් අලි ප්‍රහාරයකට ලක්වෙලා ඊයේ මැරිලා තියෙනවා. අලි එළවා දැමීම ප්‍රායෝගික නැහැ, අලි මිනිස් ගැටුමට විසඳුම ඒක නෙවෙයි. අලි නැවත ඒ පැත්තට එනවා, ”යනුවෙන් පශු වෛද්‍ය නානායක්කාර පවසයි.

“විල්පත්තු ජාතික වනෝද්‍යානයට අලි ඇතුන් එළවා දැමූ පසු එහි තිබෙන ආහාර මෙතරම් විශාල රංචුවකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අලි මැරෙන්න පුළුවන්. අලි එළවා දමන්නට රතිඤ්ඤා දැල්වීම අලින්ට හානි කරයි. අලි ඇතුන් එම ශබ්දයෙන් බිහිරි විය හැකියි. සමහර අලි අන්ධභාවයට පත්වීම හෝ තුවාල වීමට පවා පුළුවන්. රතිඤ්ඤා භාවිතය නිසා රංචුවේ සිටින අලි ඇතුන් ආබාධිත තත්ත්වයට පත්වී දුක් විඳිය හැකියි. අලුත උපන් පැටවුන් බියෙන් පළා යන විට මැරෙන්නත් පුළුවන්” යනුවෙන් ඔහු පෙන්වා දෙයි.

රතිඤ්ඤා පත්තු කරමින් අලි ඇතුන් ජාතික වනෝද්‍යානවලට එළවා දැමීමට කිහිප වතාවක්ම උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අලි පළවා හැරීමට පසුගියදා ගත් තීරණය උතුරුමැද පළාතේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජය සනසාලීම සඳහා මෙතෙක් ගත් නොසැළකිලිමත්ම තීරණයක් ලෙස සැළකේ.

“අලි-මිනිස් ගැටුම පටන් ගත්තේ මේ ආණ්ඩුව යටතේ නෙවෙයි. පොල් හිඟය සහ වඳුරු ගහනය වැඩිවීම මේ පාලනය යටතේ පමණක් අත්විඳින ලද්දක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවට ආවේගශීලී තීරණ ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික ප්‍රතිපත්තියකට අනුව අදාළ තීරණ ගත යුතුයි” යනුවෙන් පශු වෛද්‍ය නානායක්කාර පැවසීය.

“පළමුව සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතුයි. මෙම ලේකම් කාර්යාලය හරහා පශු වෛද්‍යවරුන්, පරිසරවේදීන්, සත්ත්ව විද්‍යාඥයන් ඇතුළු අදාළ සියලුම සත්ත්ව සුබසාධන සංවිධාන සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි.
ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් පසු මිනිස් සත්ව ගැටුමට විසඳුම් ස්වභාවිකවම ලැබෙයි. කෘෂිකර්ම ඇමැති කේ.ඩී.ලාල්කාන්ත ගොවීන්ට යෝජනා කරන පරිදි වගා විනාශයට පිළියම් ලෙස හදිසියේ හෝ සතුන් මැරීමට අවශ්‍ය නැහැ” යනුවෙන් ද ඔහු පවසයි.

“තත්ත්වය කළමනාකරණය කිරීමට මාර්ග සිතියමක් සකස් කළ යුතුයි. මේ හරහා රජයට ප්‍රතිපත්තියට අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාවට උපදෙස් දිය හැකියි. ගැටුම ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට රජය වගකිවයුතු ක්‍රියාමාර්ග ගත යුතුයි,”යනුවෙන් ද ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%