January 18, 2025

සාම්ප්‍රදායිකව ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්ෂ සමඟ හෝ දක්ෂිණාංශික පක්ෂ සමඟ පෙළගැසී සිටි දෙමළ ප්‍රජාව වාමාංශික අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙත යොමු වීම 2024 ජනාධිපතිවරණයේ දී කැපී පෙනෙන ප්‍රවණතාවක් ලෙස දක්නට ලැබිණි.

ඡන්දවල මෙම හැසිරීම වැඩිවශයෙන් ප්‍රකාශ වූයේ තරුණ ඡන්දදායකයන්ගෙන් වන අතර, දෙමළ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මතුවෙමින් තිබෙන කලකිරීම ද එමගින් පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාත නියෝජනය කරන මාධ්‍යවේදියකු වන සුමිති පවසන පරිදි, දෙමළ දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර බෙදීම් සහ උතුරු, නැගෙනහිර සහ වතුකර ප්‍රජාවන්ට අයත් තරුණ ඡන්දදායකයන් මෙම වෙනසට ප්‍රධාන විය.

දෙමළ ජාතික සන්ධානය වැනි සාම්ප්‍රදායික පක්ෂවල දශක ගණනාවක් තිස්සේ පැවති දෙමළ දේශපාලන ආධිපත්‍යය එම පක්ෂවල නායකත්ව ආරවුල් සහ දිශානතියක් නොමැතිකම හේතුවෙන් අඩු වී තිබේ.

යාපනය විශ්වවිද්‍යාල ක්‍රියාකාරිකයකු වන ගජන් පවසන්නේ මෙය බොහෝ තරුණ ඡන්දදායකයන් කලකිරීමට හේතුවක් වූ බවයි.

“අපේ නායකයන් එකිනෙකා වාද කරගන්නවා, නමුත් අධ්‍යාපනය, රැකියා හෝ යටිතල පහසුකම් වගේ සැබෑ ගැටලු ගැන කිසි විටෙකත් අවධානය යොමු කරන්නේ නැහැ. මෙවර අපට නිර්භීත හා වෙනස් කෙනෙකු උත්සාහ කර බලන්න අවශ්‍ය වුණා.” යැයි ඔහු පවසයි.

මෙම පක්ෂවල බෙදීම කුඩා කණ්ඩායම් කිහිපයක් ඇතිවීමට හේතු විය.

2024 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හි ඉහළ නායකයන් තම සහාය ලබා දිය යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳ තර්ක කරමින් සිටි බව ද කැපී පෙනිණි.

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ මෙම ඛණ්ඩනය අනුරගේ වාමාංශික ප්‍රතිපත්ති සමග එක්වීමට කලකිරුණු දෙමළ ඡන්දදායකයන් පෙළඹ වූ බවයි.

“මම අනුරට ඡන්දය දුන්නේ ඔහු එක් ප්‍රජාවක් පමණක් නොව මුළු රටේම එකමුතුකම සහ විසඳුම් ගැන කතා කළ නිසා,” මඩකලපුවේ කුඩා අවන්හල් හිමිකාරියක් වන මීරා පැවසුවාය.

යාපනය සහ ත්‍රිකුණාමලය පුරා තරුණයන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන දැනුවත් කිරීමේ ව්‍යාපාර වාමාංශික ව්‍යාපාරයේ දැක්ම පෙන්වා දීමට සමත් වී තිබේ.

වසර ගණනාවක් එකතැන පල්වීමෙන් පසු පලාලි මාර්ගය නැවත විවෘත කිරීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනසක සංකේතයක් විය.

දෙමළ පක්ෂ මෙම වෙනස්කම්වලින් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වූ අතර, අනුරගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රතිඵල සඳහා උනන්දුවක් දක්වන ඡන්දදායකයන් ආකර්ෂණය කර ගත්තේය.

“අපට අවශ්‍ය වන්නේ මාර්ග, පාසල් සහ වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් – දෙමළ අයිතිවාසිකම් පිළිබඳ පොරොන්දු පමණක් නෙවෙයි,” යනුවෙන් යාපනයේ රියදුරකු වන ටෝනි පැවසීය.

2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ දෙමළ ඡන්දදායකයන් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි.

තරුණ හා නව ඡන්දදායකයන් නායකත්වය දරන බැවින්, සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය (UNP) පවා මෙම ප්‍රජාවන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා දැඩි සටනකට මුහුණ දෙනු ඇත.

එක් දෙයක් පැහැදිලිය: එනම් දෙමළ ඡන්දදායකයන් තවදුරටත් අතීතය හා බැඳී නොසිටින නමුත් ක්‍රියාවෙන් හා ප්‍රගතියෙන් අර්ථ දක්වා ඇති අනාගතයක් දෙස බලයි.

42.31%
17.27%
32.76%