August 5, 2024

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින අන්තර්ජාතික තරගය සුපිරි ඕවරයකින් තොරව සම තත්ත්වයකින් අවසන් වීම තරඟ නිලධාරීන්ගේ බරපතළ අතපසුවීමක් මත කණ්ඩායම් දෙකටම පැහැදිලි ප්‍රතිඵලයක් අහිමි වීමට හේතුවූ බවට මත ඉදිරිපත්ව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් තරගය සඳහා අනුයුක්ත කර ඇති තරග නිලධාරීන් වූයේ පිටියේ තරග විනිසුරුවරුන් වන රවීන්ද්‍ර විමලසිරි (ශ්‍රී ලංකාව), ජොයෙල් විල්සන් (බටහිර ඉන්දීය කොදෙව්), රූපවාහිනී විනිසුරු පෝල් රීෆල් (ඕස්ට්‍රේලියාව), සංචිත විනිසුරු රුචිර පල්ලියගුරුගේ (ශ්‍රී ලංකාව)සහ තරග තීරක රන්ජන් මඩුගල්ල (ශ්‍රී ලංකාව) යන පිරිසයි.

නරක අතට හැරෙමින් තිබූ තණතීරුව මත ලකුණු 231ක් හඹාගිය ඉන්දීය පිල ඕවර 47.5කදී ලකුණු 230කට දැවී ගිය අතර, එම තරගය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ පළමු තරගය ලෙසද සැළකේ.

ඉහත කී තරග නිලධාරීන්ගේ කණ්ඩායම විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව එක්දින සහ T20 තරඟ තීරණය කිරීමට සුපිරි ඕවරයකට නොයෑම රසිකයන් සහ ප්‍රවීණයන් අතර බරපතළ ව්‍යාකූලත්වක් ඇති කිරීමට හේතු විය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්මාණය කරන ලද නව එක්දින අන්තර්ජාතික තරග ක්‍රීඩා කොන්දේසිවලට අනුව, 16.3.1.1 වගන්තියට අනුව ඉනිම දෙකෙන් පසුව ලකුණු සම ​​මට්ටමක පවතී නම් සුපිරි ඕවරයක් යැවීමට අවශ්‍ය වේ.

සුපිරි ඕවරය ද සම තත්ත්වයකින් අවසන් වුවහොත්, සුවිශේෂී තත්ත්වයන් මත එය වළක්වන්නේ නම් හැර ජයග්‍රාහකයකු තීරණය කරන තෙක් අතිරේක සුපිරි ඕවර ක්‍රීඩා කළ යුතුය.

අදාළ වගන්තියේ සඳහන් “ඉනිම් දෙකම අවසන් වූ පසු කණ්ඩායම්වල ලකුණු සමාන නම් එවිට සුපිරි ඕවරයක් ක්‍රීඩා කරනු ලැබේ. සුපිරි ඕවරය සම වුවහොත්, සුවිශේෂී තත්ත්වයන් ඇති වුවහොත් මිස ජයග්‍රාහකයකු සිටින තෙක් ඊළඟ සුපිරි ඕවර ක්‍රීඩා කරනු ලැබේ. ජයග්‍රාහකයකු තීරණය කිරීමට අවශ්‍ය සුපිරි ඕවර ක්‍රීඩා කිරීමට හෝ සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් තරගය සම වනු ඇත.” යනුවෙනි.

සුපිරි ඕවරයක් නොපැවැත්වීමට හේතුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉසව්වලට පමණක් මිස ද්විපාර්ශ්වික තරඟාවලි සඳහා නොවන බවට තරඟ නිලධාරීන් තරයේ කියා සිටි බවට ඇතැම් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ වී තිබේ.

එහෙත්, ශ්‍රී ලංකා කළමනාකරු මහින්ද හලංගොඩ සඳහන් කළේ ද්විපාර්ශ්වික තරඟ පවා ක්‍රීඩා කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කර ඇති නීතිරීතිවලට අනුව බවයි.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා වන අවබෝධතා ගිවිසුම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2023 දෙසැම්බර් එක්දින අන්තර්ජාතික තරග ක්‍රීඩා කොන්දේසිවලට අදාළ වන බව අඟවන තවත් තොරතුරු මතු වී තිබේ.

මෙම ක්‍රීඩා කොන්දේසි අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සම තත්ත්වයකදී සුපිරි ඕවරයක් ක්‍රීඩා කළ යුතුව තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ සුපර් ඕවරයක් මගින් තරග සම තත්ත්වයෙන් ඉවත් කිරීමට පාලක මණ්ඩල දෙක අතර පූර්ව එකඟතාවක් නොතිබූ බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඔවුන් විසින් යොදවා ඇති තරඟ නිලධාරීන් මගින් දැනටමත් ගැටලුව විසඳා ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, දැනට පැවැත්වෙන තරඟාවලියේ තවදුරටත් සම තත්ත්වයක් ඇති වුවහොත් සම්පූර්ණ ජයග්‍රාහකයකු තීරණය කිරීම සඳහා සුපිරි ඕවරයක් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.