November 5, 2024

අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 100 සහ 200 ඉක්මවන ආරක්ෂක කණ්ඩායම් ලබාදීමට තීන්දු කර තිබියදී තමාගේ ආරක්ෂකයන් ගණන 30කට සීමා කිරීමට තීන්දු කළ නිර්ණායකය කුමක් දැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කර තිබේ.

එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ මේ අනුව තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් මතුවන බවයි.

සමාලෝචනයකින් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් චන්ද්‍රිකා කුමාරතුංග මෙම ලිපිය යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හමුදා නිධාරින් 63ක් සහ පොලිස් නිලධාරින් 180කින් යුත් ආරක්‍ෂක නිලධාරීන් 243ක්, මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරින් 109ක් සහ ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200කගේ ප්‍රමාණයක් සිටිය දී තමාට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30කට අඩුකර ඇති බවයි.

විශ්‍රාමික ජනාධිපතිවරුන් අතරින් වැඩිම තර්ජන තිබෙන ජනාධිපති තමා බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති වන්නේ ද තමා බවත් ඇය පෙන්වා දී තිබේ.

විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTEය විසින් 2006 සහ 2014 වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත්කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් දන්වා ඇති බව සඳහන් කරන ඇය සිය ආරක්ෂාව අඩු කිරීම ප්‍රහේළිකාවක් බව ද සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%