October 19, 2024

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පනවා ඇති තහනම හෙළාදකින ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් විරෝධය ප්‍රකාශය කර ඇත.

ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

“ගෝලීය වේදිකාවේ බහුපාර්ශ්විකත්වය, සාමය සහ යුක්තිය වෙනුවෙන් සහයෝගය දැක්වීමේ දීර්ඝ හා සාඩම්බර ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පලස්තීනය සඳහා අපගේ නොසැලෙන සහයෝගය ද ඇතුළුව ගැටුම් නිරාකරණය සහ පීඩිතයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගත් අන්තර්ජාතික ප්‍රයත්නයන්ට අපේ රට නිරන්තරයෙන් සහාය ලබා දී ඇත.

එබැවින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීම හෙළා දකිමින් රටවල් 105ක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබීම දැඩි කනස්සල්ලට කරුණකි. විශේෂයෙන්ම දැනට පවතින මැදපෙරදිග අර්බුදය තුළ ගැටුම් සමථයකට පත් කිරීම සහ මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අත්‍යවශ්‍ය කාර්යභාරය මෙම ලිපියෙන් යළිත් තහවුරු කෙරේ. යුක්තිය සහ සාමය සඳහා වූ මෙම සාමූහික කැඳවීමට සම්බන්ධවීම අප ප්‍රතික්ෂේප කිරීම අපගේ හොඳින් ස්ථාපිත රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන්ගෙන් සැළකිව යුතු බැහැරවීමක් සනිටුහන් කරයි.

අප අපෙන්ම අසාගත යුතුය: මෙතරම් තීරණාත්මක ගෝලීය කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හඬ නිහඬ වී ඇත්තේ මන්ද? වර්ධනය වන ගෝලීය අස්ථාවරත්වයේ කාලවලදී, අන්තර්ජාතික සාමය සහ රාජ්‍යතාන්ත්‍රිකත්වය සඳහා වන සිය ඓතිහාසික කැපවීම්වලින් පසුබැසීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත.

සෑම විටම බහුපාර්ශ්විකත්වයේ මූලධර්ම වෙනුවෙන් පෙනීසිටින රටක් ලෙස, සංවාදය, සාමය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරන ප්‍රයත්නයන් සමඟ අප පෙළගැසී සිටීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සාධාරණත්වය, යුක්තිය සහ අන්තර්ජාතික ආයතනවලට ගරුකිරීම යන මූලධර්ම මත පදනම් වී පවතින බව සහතික කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.”

42.31%
17.27%
32.76%