September 7, 2023

ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කර ගත් සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව නීතිපතිවරයා අධිකරණයට ඊයේ (6 වැනිදා) දැනුම් දුන්නේය.

මුදලට තරග පාවාදීමේ සිද්ධීන්වලට සම්බන්ධ විශාල පිරිසක් සිටින බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් එලෙස චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් පිළිබඳව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක් පවත්වන බවද අධිකරණය වෙත දන්වා සිටියේය.

2020 වසරේදී පවත්වන ලද ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට පෙලඹවීමක් කරන ලදැයි චෝදනා යටතේ ඊයේ (6 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සේනානායක මුදියන්සේලාගේ සචිත්‍ර මධුසංඛ සේනානායක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් එලෙස දන්වා සිටියේය.

අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල් විසින් 2020 නොවැම්බර් 28 වැනිදා කරන ලද පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් පසු සචිත්‍ර සේනානායක එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජයනාත් වනසිංහ, එහි ස්ථනාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවැසීය.

‘‘මෙය සුවිශේෂ නඩු කටයුත්තක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා. සැකකාර සචිත්‍ර සේනානායක වින්දිත ක්‍රීඩකයන් වන ධම්මික ප්‍රසාද්ට සහ තරිඳු රත්නායක යන අයට අවස්ථා 12 කදී දුරකථන ඇමැතුම් ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම වට්ස්ඇප් මාර්ගයෙන් ධම්මික ප්‍රසාද් සහ සචිත්‍ර සේනානායක අතර වීඩියෝ සංවාදයක් සිදුවී තිබෙනවා. එය අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබාදුන් විශේෂ පටිගත කිරීමේ යන්ත්‍රයක පටිගත වී තිබෙනවා. විදේයක සිට ‘ස්ටැබී’ සහ ’ෂයිනි’ යනුවෙන් පුද්ගලයන් දෙදෙනකු ඇමැතුම් ලබාදී තිබෙනවා. තරිඳු රත්නායක විසින් එම දුරකථන අංක අවහිර කර තිබෙනවා. එහිදී සචිත්‍ර සේනානායක විසින් ‘‘උඹලාට මොකක් හරි කරන්න හැදුවහම පණ්ඩිත වෙන්න හදනවානේ. මේ ගැන දූෂණ මර්දන ඒකකයට දැනුම් දුන්නද? ක්‍රිකට් කියලා හැමෝම කරන්නේ බිස්නස් එකක්. අපේ පවුල් බලගන්න මුදලට ක්‍රීඩා කරමු’’ යැයි යෝජනා කර තිබෙනවා.

සචිත්‍ර සේනානායක අන්තර්ජාතික බුකීකරුවන්ගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කර තිබෙනවා. අන්තර්ජාතික බුකීකරුවන් මෙරට ප්‍රීමියර් ලීග් තරගාවලි හිමිකරුවන් සමග සබඳතා පවත්වන බවත් අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශනය කරනවා. සචිත්‍ර එක් ක්‍රීඩකයකුට කතා කර ‘‘ඔයාට ස්ටැබී කියලා කෙනෙක් කතා කළාද? ඔයාට තරගාවලියට ක්‍රීඩා කළොත් හම්බ වෙන්නේ ඩොලර් පහළොස් දාහයි. (15,000) අපි කියන විදියට ක්‍රීඩා කළොත් ඩොලර් හතළිස් දහසත් (40,000) – හැටදහසත් (60,000) අතර මුදලක් ලබාගත හැකියි’’ යනුවෙන් පවසා තිබෙනවා.

මුදලට තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙලඹවූ බවට චෝදනා එල්ල වී තිබෙන සචිත්‍ර සේනානායකට අවන් හලක් තිබෙනවා. ඔහුගේ දේපළ ගැන වෙනමම විමර්ශනයක් පවත්වනවා. ඊට අමතරව ඔහුගේ පවුලේ අයගේ, හිතවතුන්ගේ වත්කම් ගැනත් විමර්ශනයක් පවත්වනවා.

සචිත්‍ර විසින් වැඩ කරන්නේ නැති දුරකථන 2 ක් පොලිසියට දී තිබෙනවා. විමර්ශනයට අවශ්‍යම දුරකථනය ඔරු පදින්න ගිහිල්ලා වතුරට වැටුණා කියලා සචිත්‍ර කියනවා. මෙම සැකකරු විමර්ශනයට සහාය දෙන්නේ නැහැ. සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන විට ඔහු පදිංචි ස්ථානවලින් අතුරුදන් වෙලා හිටියේ. සැකකරුගේ දුරකථන සංවාද සහිත හඬ පට රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂා කළ යුතුයි. සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් ඉල්ලා සිටිනවා.’’

සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මෙසේ පැවැසීය.

‘‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදාගන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනය කළ යුතුයි. පසුගියදා නිමාවූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඊට අනුග්‍රහය දැක්වූ බොහෝ ආයතන ඔට්ටු ඇල්ලීමේ නිරත ආයතන වෙනවා. ඒ අය ගැනන විමර්ශන නොකරන්නේ ඇයි? අන්තර්ජාතික ක්‍රිකට් තරග පවත්වන්නේ මුදලට තමයි. ධම්මික ප්‍රසාද් ළඟ සචිත්‍රගේ පටිගත කිරීමක් තියෙනව කියනවා. නමුත් ඔහු කිසිම අවස්ථාවක එවැනි දෙයකට සම්බන්ධ වී නැහැ. තරිඳු රත්නායක කියන්නේ ශ්‍රී ලංකාවේ ඒ කණ්ඩායමටවත් ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි. අපෙන් ජංගම දුරකථන ඉල්ලුවා. ඒවා නිසි පරිදි ලබාදුන්නා. මෙම විමර්ශන පැවැත්වෙන අතරතුරදී හය වතාවක් විදෙස් සංචාරවල නිරත වුණා. නමුත් අපි මෙරටින් පලා ගියේ නැහැ. ඉකුත් අගෝස්තු 14 වැනිදා පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒකපාර්ශ්වික විදෙස් ගමන් තහනමක් ලබාගත්තා.

වසර තුනක් මෙම විමර්ශනය කළාට එම කාලය තුළ ඔය කියන රෙකෝඩර් එළියට ආවේ නැහැ. සැකකරුට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් නැහැ. වසර තුනක් පොලිසිය මොකද කළේ? ඇයි මෙතෙක් කලක් කටහඬ පරීක්ෂාවක් නොකළේ? සචිත්‍රට වයස අවුරුදු 8 ක සහ අවුරුදු 9 ක ළමයි දෙන්නෙක් ඉන්නවා. බිරිඳ ලංකාවේ රැකියාවක් කරනවා. එම නිසා ඔහුට රටින් පලා යන්න වුවමනාවක නැහැ. එමනිසා ඕනෑම කොන්දේසියක් මත සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.’’

‘‘විනාඩි 49 ක වීඩියෝ හඬ පටියක් තියෙනවා. ඒ ගැන සැකකරුගෙන් අහන්න පුළුවන්’’ යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දන්වා සිටියේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා – ඒ ගැන මොකද කියන්නේ.

සැකකාර සචිත්‍ර සේනානායක – මට වීඩියෝ හඬ පටියක් පොලිසියේදී අහන්න දුන්නා. එච්චරයි.

ජේ.නි.සො.ජ. දීලීප පීරිස් – සැකකරු මෙච්චර කාලයක් කොහේද සිටියේ. විමර්ශනයට අවශ්‍ය දුරකථනය ඔහු දීලා නැහැ. තරිඳු රත්නායක නමැති අයට තෑග්ගක් වශයෙන් විස්කි ​බෝතලයක් දී තිබෙනවා. එම විස්කි බෝතලය තරිඳු රත්නායක වෙත ගොස් භාර දී ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ හිතවතෙක් විසිනුයි. එම පුද්ගලයා දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රධාන මහෙස්ත්‍රාත් – එහෙම ඉදිරිපත් කිරීමක් තිබෙනවාද?

සැකකාර සචිත්‍ර සේනානායක – වත්තල ප්‍රදේශයේ මාගේ යහළුවෙක් ඉන්නවා. ඔහු සතියත් ඇතුළත ඉදිරිපත් කරන බව සඳහන් කළා.’

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් නඩුවේ ඉදිරි විමර්ශන කටයුතුවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති විය හැකි බැවින්, සැකකරු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. සැකකරුගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබන 13 වැනිදා පෙරවරු 9.00ට රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය. සැකකාර හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක දෑතට මාංචු දැමූ බන්ධනාගාර නිලධාරීහු ඔහු බන්ධනාගාරය වෙත ඊයේ (6 වැනිදා) පස්වරුවේ රැගෙන ගියහ.

සැකකරු අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත්කරන බව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු හැඬු කඳුළින් යුතුව බන්ධනාගාරය වෙත යනු දක්නට ලැබිණි.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් ක්‍රීඩකයකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ පවරන ලද ප්‍රථම නඩුව වන්නේද මෙම නඩුවයි.

(අරුණ)

42.31%
17.27%
32.76%