42.31%
17.27%
32.76%
September 23, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට අතුරු කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව වාර්තා වේ.

නොවැම්බර් මස අවසානයේදී මැතිවරණය පැවැත්වීම ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරීමට ජාතික ජන බලවේගය අපේක්ෂාවෙන් සිටින අතර, අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සමඟ නව පාර්ලිමේන්තුවක් රැස්වන තෙක් නව කැබිනට් මණ්ඩලය ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කෙරේ.

දැනට පාර්ලිමේන්තුවේ සිටින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන්නේ විජිත හේරත් සහ හරිනි අමරසූරිය පමණි.

ළඟදීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ද එක්වනු ඇත.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින්ද, නැතහොත් කැබිනට් මණ්ඩලය පුළුල් කරන්නේද යන්න තවමත් අපැහැදිලිය.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වසන්ත සමරසිංහ සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු පුළුල් ශ්‍රී ලංකා දේශපාලන අනන්‍යතාවයක් පිළිබිඹු කරමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමරසිංහ කියා සිටියේ උතුරු නැගෙනහිර මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලනඥයන්ගේ මෙන්ම වතුකරයේ ද සහාය ඇතිව මෙම අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීමට ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 222 දෙනා අතර උතුරු, නැඟෙනහිර සහ වතු ක්‍ෂේත්‍රවල දක්‍ෂ මන්ත්‍රීවරු පිරිසක් අන්තර්වාර රජය පිහිටුවීමට තෝරා ගන්නා බවද සමරසිංහ සිය කතාවේදී අවධාරණය කළේය.

“මුලදී අපේ කැබිනට් මණ්ඩලයේ අනුර සහෝදරයා ඇතුළු හතර දෙනෙක් ඉන්නවා. තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු රටේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි හත් අට දෙනෙකු දක්වා ඇමැති මණ්ඩලය ව්‍යාප්ත විය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

මේ අතර, රජය කළමනාකරණය කිරීම සඳහා නව ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන බව ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න ආධාරකරුවන්ට ඊයේ දැනුම් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනටමත් ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු රේගු නිලධාරියකු වන ආචාර්ය නන්දික සනත් කුමානායක පත්කර ඇත.

 

42.31%
17.27%
32.76%