March 24, 2025

බැංකු පනත යටතේ තහනම් කර ඇති පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීම පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සිකුරාදා තවත් සමාගම් දෙකක් නම් කළේය.

පිරමීඩ යෝජනා ක්‍රමවල නියැලී සිටින බවට මහබැංකුව තීරණය කර ඇති සමාගම් ලැයිස්තුවට මෙලෙස අලුතින් එක්කර ඇති සමගම දෙක වන්නේ, Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd වේ .

මහබැංකු ලැයිස්තුවේ ඇති තවත් සමාගම් කිහිපයක නිලධාරීන් රුපියල් මිලියන ගණනක වංචා චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සමහරෙක් ඇප මත මුදාහැර ඇති අතර අනෙක් අය තවමත් රිමාන්ඩ් භාරයේ සිටිති.

දැන් තහනම් මෙලෙස කර ඇති Shade of Procare (Pvt) Ltd හි නිලධාරීන්, පසුගිය ජනවාරි මාසයේදී විපක්ෂයේ හිටපු ප්‍රමුඛ මන්ත්‍රීවරයකු සමඟ මාර්ගගත රැකියා අවස්ථා සඳහා පුහුණු වැඩසටහනක් වෙනුවෙන් යැයි පවසමින් ලබාගත් ඡායාරූප ද දැන් සමාජ මාධ්‍යවල සංසරණය වේ.

හිටපු මන්ත්‍රීවරයා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේද එම රැස්වීමේ ඡායාරූප පළකර තිබිණි.

ජනවාරි මාසයේදී පවා එම ඡායාරූපවලට පහළින් අදහස් දැක්වූ සමහර පරිශීලකයින් දේශපාලනඥයාට අනතුරු ඇඟවූයේ, පිරමීඩ යෝජනා ක්‍රමයක් මෙහෙයවන පුද්ගලයන් පිරිසක් ඔහුව රවටා ඇති බවත්, එම ඡායාරූප සමාගම විසින් ඔවුන්ගේ වංචාවට නව වින්දිතයින් බඳවා ගැනීම සඳහා භාවිත කරන බවත්ය.

කෙසේවෙතත්, එම සම්පූර්ණ සටහන තවමත් සමාජ මාධ්‍ය පිටුවේ ඇත.