September 14, 2024

වඳුරු උණ ලෙසින් හැඳින්වෙන mpox ආසාදනය පිටුදැකීමේ පියවරක් ලෙස පළමුවරට එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරය ලබා දී තිබේ.

ඒ අනුව mpox ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකේ mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබේ.

එය අප්‍රිකාවේ මෙම රෝගයට එරෙහිව සටන් කිරීමේ වැදගත් පියවරක් ලෙස හැඳින්වේ.

Bavarian Nordic A/S විසින් සාදන ලද එන්නත අනුමත කිරීම යනු Gavi සහ UNICEF වැනි පරිත්‍යාගශීලීන්ට එය මිලදී ගත හැකි බවයි.

දැනට සිටින්නේ එකම නිෂ්පාදකයකු පමණක් බැවින් සැපයුම් සීමිත වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ mpox පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් වඩාත් අවශ්‍ය රටවලට සාධාරණ ලෙස බෙදා හැරීමට උත්සාහ කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කරන බවයි.

වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, එන්නත ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා පැතිරීම වැඩි තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

Bavarian Nordic විසින් නිපදවන ලද mpox එන්නතට 2022 දී ගෝලීය mpox පැතිරීම අතරතුර යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ධනවත් රටවල් ගණනාවකින් මීට පෙර අවසර ලබා දී ඇත.

අප්‍රිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් පසුගිය මාසයේ කියා සිටියේ mpox රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රට වන කොංගෝවේ රෝගීන්ගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු15ට අඩු ළමුන් වන අතර මරණවලින් 85%ක්ම එම වයස් කාණ්ඩයට අයත් බවයි.

පසුගිය සතිය තුළ නව මරණ 107ක් සහ නව රෝගීන් 3,160ක් වාර්තා වී ඇති බව ද පසුගිය බ්‍රහස්පතින්දා අප්‍රිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේය.

Mpox වසූරිය හා සමාන වෛරස් පවුලකට අයත් වන නමුත් උණ සහ ශරීර කැක්කුම වැනි මෘදු රෝග ලක්ෂණ ඇති කරයි.

වඩාත් බරපතළ ලෙස රෝගය ඇති පුද්ගලයන්ට මුහුණේ, අත්වල, පපුවේ සහ ලිංගික අවයවවල තුවාල ඇති විය හැක.