December 7, 2023

රුසියානු හමුදා සාමාජිකයන් පවත්වාගෙන යන ටෙලිග්‍රෑම් ගිණුමක් හරහා ඊයේ පෙරවරුවේ වාර්තා වූ තොරතුරකින් අනාවරණය කර තිබුණේ ශ්‍රී ලාංකික කුලී හේවායෙකුවන ඇන්ඩෘ රනීශ් හේවගේ හෙවත් “කැප්ටන් ඩෙන්ටිස්” තම ප්‍රහාරයකින් ඝාතනය කළ බවයි.

යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ තවත් ශ්‍රී ලාංකික කුලී හේවායන් දෙදෙනකුද තමන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි එහි සඳහන්ව ඇත.

එහි දක්වා ඇත්තේ, ඔහුන් තිදෙනා මියගොස් සිටි යුක්‍රේන සෙබළුන් පිරිසකගේ සිරුරු පිටතට රැගෙන යෑමට උත්සහ කළ අවස්ථාවක තමන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ ප්‍රතිචාරයක සඳහන් වූ ආකාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ‍යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශයේදීය.

ළහිරු කාවින්ද නමැති සමාජ මාධ්‍ය ගිණුමකින් පළකර තිබූ එම ප්‍රතිචාරය මෙසේය.

” මගේ කරේ ඩෙන්ටිස් ඔයා අවසාන හුස්ම හෙළුවේ. ඔයා වීරයෙක්. මම ඔයාව පුළුවන් තරම් දුර ගෙනාවා. ඔයාට කරන්න පුළුවන් හැමදේම කළා. ඩෙන්ටිස් ඔයා නමක් හැදුවා. ඒ නම මුළු යුක්‍රේනයේම වැජඹෙනවා. ඔයා ඔයාට ගෞරවාන්විත අවසානයක් දෙනවා. ”

කවුද මේ කැප්ටන් ඩෙන්ටිස්? ශ්‍රී ලාංකික ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වූයේ කැප්ටන් ඩෙන්ටිස් නමින් යුක්‍රේනය තුළ ප්‍රසිද්ධ ඇන්ඩෘ රනීශ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුධ හමුදා පාබල හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙක් ලෙස සේවය කර ඇති බවයි.

ඔහු 2012 වසරේ සැප්තැම්බර් 30 වැනිදා ලුතිනන්වරයකු ලෙස හමුදා සේවයෙන් ඉවත්ව ඇති අතර, එදින ඔහු නිල වශයෙන් අධිකාරියෙන් ඉවත්කර ඇත.

පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටින අතරතුර ඔහු 2022 වසරේ මාර්තු මස යුක්‍රේනයේ අන්තර්ජාතික හමුදා ලීගය නමින් හඳුන්වන ඒකකයට බැඳී එහි සක්‍රීය යුද සේවයට එක්වී තිබේ.

රුසියාන සමඟ ඇති යුද්ධයට සහාය වෙන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයා විදේශිකයන්ට ඇරියුම් කර ඇති අතර, ඔවුන් ඒ සඳහා අන්තර්ජාතික හමුදා ලීගය ස්ථාපනය කර ඇත.

විදේශීය ජනමාධ්‍ය වාර්තා අනුව රනීශ් සේවය කර ඇත්තේ, යුක්‍රේන රුසියා යුද්ධයේදී ඉදිරිපෙළ ආරක්ෂක වලල්ලේ අණදෙන නිලධාරියකු ලෙසයි.

ඔහු පසුගිය මාර්තු මාසයේදී සමාජ මාධ්‍යයය ඔස්සේ සාකච්ඡාවක ද නිරතවී ඇත.

” සාමාන්‍ය ලෝකයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බැරිවෙයි කියලා හිතුන අවස්ථා මගේ ජීවිතයේ තියෙනවා. ඒක මට කියන්න තියෙන්නේ එක්කෝ අහම්බයක්. එහෙම නැත්නම් මගේ දෛවයේ තාම මම මැරෙන්න ඕන කියලා ලියවිලා නැහැ. ”

රනීශ් හේවගේ යුක්‍රේනයේ දැක්වූ දක්ශතා හේතුවෙන් අධිකාරි නිලධාරියකු ලෙස පත්කර තිබීම විශේෂත්වයකි.(News1st)

42.31%
17.27%
32.76%