October 23, 2023

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් නීතීඥ සංගමය, ජනමාධ්‍ය ආයතන, නීතිඥ කණ්ඩායම් සහ තවත් පෙත්සම්කරුවන් 40කට වැඩි පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙන්ගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පසුගිය සතියේ දින දෙකකදී විභාග කෙරිණි.

එම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් අනතුරු ඇඟවූයේ මෙම පනත් කෙටුම්පතින් මාර්ගගත ක්‍රමවලට සපයන ආරක්ෂාව ඉතා අඩු මට්ටටමක පවතින බවයි.

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා එය කෙටුම්පත් කර ඇති බවටද චෝදනා එල්ලකර තිබිණි.

එමගින් සාවද්‍ය ප්‍රකාශයක් ලෙස සළකන ඕනෑම පළකිරීමක් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් පංච පුද්ගල කොමිසමකට ඉඩ ලබාදෙන ආකාරය පෙන්වාදුන් පෙත්සම්කරුවන්, අධිකරණයේ කොටස්කරුවන් නොවන පස්දෙනකුට සත්‍ය හෝ අසත්‍ය තීරණය කිරීමට ඉඩදීම මගින් මිලියන ගණනක් වන අන්තර්ජාල පරිශීලකයින්ට ඔවුන්ගේ අදහස් බෙදාගැනීම සම්බන්ධ දැඩි පාලනයකට යටත්කිරීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් වනු අති බවද ප්‍රකාශ කර තිබිණි.

ඔවුන් පවසන්නේ, මෙය “අරගලයේ” කොටසක් වූ දේශපාලන විසම්මුතියට ප්‍රතිචාරයක් ලෙස පෙනෙන්නට ඇති බවයි.

ආගමික සංහිඳියාවට මුවා වී, එකදු වරදක් හෝ නොකළ මිනිසුන්ට හිරිහැර කිරීම සඳහා ICCPR පනත යොදාගන්නා ආකාරය උදාහරණ ලෙස මෙහිදී ගෙනහැරපා තිබිණි.

ඇතැමුන් පවසා තිබුණේ, 2003 දී සාපරාධී අපහාසයෙන් මිදී එම පනත ගෙන ඒම පසුගාමී ක්‍රියාවක් බවයි.

පනත් කෙටුම්පතට අනුව, අන්තර්ජාල පළකිරීමක් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම එම පුද්ගලයාට පමණක් නොව අන්තරජාල සේවා සපයන්නාට ද මහේස්ත්‍රාත්වරයකු විසින් සිර දඬුවම් නියම කළ හැකි වරදක් වේ.

පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් භාවිත කරන බොහෝ අන්තරජාල සේවා සපයනු ලබන්නේ, ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි අන්තර්ජාතික සමාගම් විසින් බව පනත් කෙටුම්පත නොසළකා හැර ඇති බවයි.

මෙම ආකාරයේ ඉහළ පෙළේ රජයේ අවදානම්වලට යටත් වීමට වඩා, සේවා සැපැයීම නතර කර ශ්‍රී ලංකාව හැර යෑමට ඔවුන් කැමතිවනු ඇති බවද පෙත්සම්වල දක්වා තිබේ.

පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවට ආදේශ වුවහොත් Google, Facebook, Twitter, Instagram, WhatsApp සහ Google search, Google Maps, G-mail වැනි අත්‍යවශ්‍ය සේවාවන් පවා අහිමි වීමට ඉඩ ඇති බව ද පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.

තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ මෙවැනි පාලනයක් වෙනත් රටවල ක්‍රියාත්මක වී නැති බව නොසළකා හැර, මිනිසුන්ගේ සංවාදවලට සවන්දීමට සහ ඔත්තු බැලීමට කිසිවකුට ඉඩ සලසන පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂිත පූර්වාරක්‍ෂාවන් නොමැති වෙනත් සමාගම් විසින් මෙවැනි දෑ ප්‍රතිස්ථාපනය කිරීමේ අනතුරක් පෙන්වාදීමට පමණක් කෙටුම්පත යොදාගෙන ඇති බවයි.

WhatsApp වැනි වත්මන් සේවාවන් හැක්කළ හැකි සහ රහසිගත අධීක්‍ෂණයට ඉඩ සලසන වෙනත් තාක්‍ෂණයන් සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳ කටකතා අතීතයේ සිටම පවතී.

ප්‍රකාශනයේ නිදහස පිළිබඳ දැඩි මාර්ගෝපදේශ ඇති , සමාජ මාධ්‍ය සමාගම් තහනම් කර හෝ පළවා හරින ලද ඇතැම් රටවල්වල එම සේවා සැපයීම් ප්‍රතිස්ථාපනය කර ඇත්තේ පෞද්ගලිකත්වයට ගරු නොකිරීම සම්බන්ධයෙන් කුප්‍රකට සේවා සපයන්නන් විසිනි.

අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පෙත්සම් විභාගය ආරම්භයේදීම සංශෝධන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර, ඒවා කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.

මෙම ස්ථාවරයට බොහෝදෙනා විරෝධය පළකළේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක මගහැරීමේ උත්සාහයක් බව පෙන්වමින්ය.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී විශාල ලෙස වෙනස් කිරීමට යන්නේ නම් නිසි ක්‍රියාමාර්ගය වනුයේ මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන, එම සංශෝධන සහිත අලුත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් එය අභියෝග කිරීමට ජනතාවට අවස්ථාව සැලසීම සුදුසු බවද ඔවුන්ගේ මතය වී තිබේ.

ඇතැමුන් ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධනවලින් මෙම පනත් කෙටුම්පතට ඇති අවදානම අඩු නොවන බවයි .

මහජන ආරක්‍ෂක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ පමණක් නොව අන්තර්ජාල සේවා ක්‍රියාත්මක වන හෝ භාවිත කරන සියලුම ව්‍යාපාරවල මරු කැඳවනු ඇති බවටද නීතිඥවරු පෙත්සම් විභාගයේදී අනතුරු ඇඟවූහ.

විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට අරගල කරන රටට මෙය ඉතා නරක හැඟීමක් ඇති කරන බවද එහිදී පෙන්වාදෙනු ලැබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන විධිවිධාන කිහිපයක් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් පෙත්සම්කරුවන්ගේ පොදු තර්කය වූයේ රජයට තවදුරටත් මේ මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය නම් පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී අනුමත කළ යුතු බවයි.

මේ අතර, පනත් කෙටුම්පත සැකසීමට තමන් සම්බන්ධ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ කිහිපයක් දමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබිණි.

ඇත්ත වශයෙන්ම මෙම පනත් කෙටුම්පත සකස් කළ අයගේ නම් දැනගැනීමට මෙම පත්‍රිකාවෙන් ගත් උත්සාහය සාර්ථක වී නොමැත.

42.31%
17.27%
32.76%