April 21, 2025

ස්වාමිපුරුෂයන් රැකියාවට ගිය පසු බිරින්දෑවරුන්ද ඇතැම් පවුල්වල අඹුසැමියන්ද එක්ව කලක් සිට ඉතා රහසිගතව මීගමුව දෙහිමල්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදුපොළක් (බූරු පිටියක්) වටළා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 17 වැනි දින පිරිමින් 10ක් හා කාන්තාවන් 07ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බූරු පිටිය පවත්වාගෙන ගොස්තිබුණේ අංක 90/12/1,දෙහිමල් වත්ත පාරේ පිහිටි නිවසේ අයිතිකරු පදිංචි ස්ථානයේ බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳව පැමිණිලි කිහිපයක් පොලිසියට ලැබුණු බවද, ඉතා රහසිගතව තැ‍රැව්කරුවන් යොදා මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරින් මෙම ස්ථානය වටළන විටදී රුපියල් 425,000ක මුදලක් බූරු පිටියේ තිබී පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.

තමන්ගේ ත්‍රිරෝද රථය, යතුරුපැදියද, ඇතැම් විට රන් ආභරණද උගසට තබා මෙම ක්‍රීඩාවේ යෙදුණු අයද අත්අඩංගුවට ගත් පිරිස අතර සිට ඇත.