October 25, 2024

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් දරන ලද වියදම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මැතිවරණයේ වැඩිම වියදමක් දරන ලද අපේක්ෂකයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වන අතර එය රුපියල් බිලියන 1.12 කි.

වියදම් අනුව සජිත් ප්‍රේමදාස අපේක්ෂකයෙකු ලෙස රුපියල් මිලියන 936.26ක් (936,258,524.60) සහ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ඔහු වෙනුවන් රුපියල් මිලියන 194.09ක් (194,087,715.04) වශයෙන් මැතිවරණයට වැයකර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ දෙවැනි වැඩිම වියදම සහිත අපේක්ෂකයා වේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 990.33ක් (990,327,687.16) වැයකර ඇති බව කියන ඔහු, ස්වාධීන අපේක්ෂකයන් අතරින් වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා ද වෙයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත්තේ තමන් තම පෞද්ගලික මුදල් යොදාගනිමින් කිසිදු වියදමක් නොකළ බවයි.

අනුර දිසානායක දුරකථන සහ සන්නිවේදන වියදම් ලෙස රුපියල් 68,066.36 ක් සටහන් කර ඇත.

කෙසේවෙතත් පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය ඔහු වෙනුවෙන් මැතිවරණය සඳහා රුපියල් මිලියන 528.00ක් (527,999,889.38) වියදම් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ද ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිදු වියදමක් වාර්තා කර නොතිබූ නමුත්, ශ්‍රී ලංකා පොදුජන විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 388.94ක් (388,939,085.00) වැයකර ඇති බව ප්‍රකාශ කර තිබේ.

සර්වජන බලය ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 324.64 ක් (324,643,246.05) මැතිවරණය වෙනුවෙන් දරා ඇත.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව 2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයා වියදම් කළ මුදල් පිළිබඳ සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

පහත දිගුවෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් දරන ලද වියදම් ලේඛන ලබාගත හැකිය.

https://elections.gov.lk/Pages/PRE_2024_Candidate_Expenditure.html

42.31%
17.27%
32.76%