42.31%
17.27%
32.76%
October 18, 2023

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සිව්දෙනකුගේ අත්සනින් පසුගියදා සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ සඳහන් කෙරෙන්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම ලබන පාඩුව පිළිබඳවය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් පෙන්වාදෙන්නේ මෙලෙස සංස්ථාව විශාල වශයෙන් පාඩු ලැබීමට හේතුව මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සමාගම් විසින් අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමය(දැනටමත් චීනයට අයත් සයිනොපෙක් සමාගම ඉන්ධන ලීටරයක් අලෙවි කරන්නේ සංස්ථාවේ මිලට වඩා රුපියල් 07ක් අඩුවෙනි).

මේ නිසා සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් විදෙස් සමාගම්වල පිරවුම්හල් වෙත ඇදීයනු ඇති බවත්, එමනිසා සංස්ථාවට විශාල ලෙස පාඩු සිදුවනු ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සිය ලිපියෙන් පෙන්වාදී ඇත.

මෙම තත්ත්වය වෙනස් කරමින් සංස්ථාවේ සහ සයිනොපෙක් පිරවුම්හල් වල ඉන්ධන අලෙවිය සමාන මිලකට පවත්වාගෙන යෑමට කටයුතු කිරීමේ බලය ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ.

එලෙස සමාන මිලකින් ඉන්ධන අලෙවි කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව ලාභදායී ආකාරයෙන් පවත්වාගෙන යෑමට ඇති හැකියාව පිළිබඳවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් පෙන්වාදී ඇත.

මේ පිළිබඳව සටහන් ලිපියට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

අනතුරුව හිටපු සංස්ථා සභාපති මොහොමඩ් උවයිස් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිල තීරණය කිරීමේ බලය ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

එම ලිපිය යොමුකර මේ වන විට දින 75කට වැඩි කාලයක් ගතව තිබේ.

එහෙත් අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

වාර්තා සඳහන් කරන ආකාරයට ලේකම්වරයා වාචිකව දැනුම්දී ඇත්තේ, සංස්ථාව ලාභ ලැබීම වෙනුවෙන් හිටපු සභාපතිවරයා යොමුකළ ඉල්ලීම ඉටුකළ නොහැකි බවයි.

දැන් එම ඉල්ලීම ඉදිරිපත් කළ සභාපති මොහොමඩ් උවයිස් ‘පෞද්ගලික හේතුවක්’ බව කියමින් ධූරයෙන් ඉවත්ව ඇත.

ඒ වෙනුවට චීන සමාගම් සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විෂය භාර ඇමැති කංචන විජේසේකර විසින් පත්කර ඇත.

ආයතනයේ සේවකයන් පෙන්වාදෙන්නේ, දිගින් දිගටම සයිනොපෙක් සමාගමට ලබාදෙන සහන සහ අවස්ථාවන් හේතුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසාදැමීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවයි.

අනෙක් අතට සංස්ථවේ පාඩුව පියවා ගැනීමට ඇමැතිවරයාට ඇති එකම විසඳුම වන්නේ, රටේ ජනතාව මත තව තවත් බර පටවමින් ඉන්ධන මිල ඉහළ දැමීම පමණකි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්ධන නැව්වලින් සිදුකෙරෙන බිලියන ගණන් ගසාකෑම් සම්බන්ධයෙන් සහ ඉන්ධන ආනයනයේ පවතින දේශපාලකයන් හා බැඳුණු මාෆියාව නොහොත් ඒකාධිකාරය සම්බන්ධයෙන් ඇමැතිවරයා පසුවන්නේ නෑසූ කන්වය.

අපට කීමට ඇත්තේ මෙපමණකි.

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’ කතාව ‘උපහැරණයට ගන්නට’ මෙරට ඉන්ධන මාෆියාව තරම් වෙනත් කිසිදු විෂමාචාරයක් උචිත නොවන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048දී රට සුඛිත මුදිත කරන්නට යන්නේ මෙවැනි රාජ්‍ය අනුග්‍රහය ලබන දුෂණ සහ අක්‍රමිකතා සමගය.

42.31%
17.27%
32.76%