October 25, 2023

අධ්‍යයන වැඩසටහනකට සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරද එම සංචාරයට සූදානම් වූ නමුත් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔහුට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

මන්ත්‍රී සරත් වීරසේකර චීනය සමග සමීපව කටයුතු කිරීම මෙලෙස වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.

සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වේ.

ඔහුට එක්සත් ජනපදයට යෑමට වීසා නොලැබෙන බව තහවුරු වීමෙන් අනතුරුව, ඉහත කමිටුවේ සභාපති බලතල භාවිත කරමින් එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්ව දැඩි දේ දෝෂදර්ශනයට ලක්කිරීමටද පසුගියදා කටයුතු කළේය.

මේ අතර, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුද කැටුව මන්ත්‍රී කණ්ඩායම පසුගිය සති අන්තයේ එක්සත් ජනපදය බලා පිටව ගිය බව පාර්ලිමේන්තුව තහවුරු කරයි.

මෙම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන් සහ සාමාජිකයන්ද ඇතුළත් විය.

ඔවුන් එක්සත් ජනපද කොංග්‍රසයේ කමිටු ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රී ලාංකික අමුත්තන්ට අනුග්‍රහය දක්වන බවත්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් තාක්ෂණික සහ සම්බන්ධීකරණ සහාය ලබාදෙන බවත්, පාර්ලිමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරියෙක් මෙසේ සඳහන් කර ඇත.

“මෙම අධ්‍යයන වැඩසටහන පවත්වනු ලබන්නේ එක්සත් ජනපද කොන්ග්‍රසයේ දිගු කලක් ක්‍රියාත්මක වූ කමිටුවල ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින්ය”

එම කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීම, ඔවුන්ව හඳුනාගැනීම, තාක්ෂණික කටයුතු මෙන්ම ඒවායේ නව්‍ය ප්‍රවණතා නිරීක්ෂණය කිරීම සහ අදාළ කමිටුවලට මහජනතාව සහභාගී වන ආකාරය අධ්‍යයනය කිරීමද මෙම වැඩසටහනට ඇතුලත වේ.

මේ අතර, එක්සත් ජනපදය අරමුදල් සපයන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ පිටුබලය ඇතිව, පාර්ලිමේන්තුව උපාධි අපේක්ෂකයන් 48 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා නව සීමාවාසික වැඩසටහනක් දියත් කර ඇත.

පසුගිය සඳුදා (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම මාස හයක සීමාවාසික පුහුණුව සමාරම්භක අවස්ථාවට එක්වූ උපාධි අපේක්ෂකයන් පිරිසක් ඉහත ඡායාරූපයේ දැක්වේ.

(මූලාශ්‍රය – The Island)