September 15, 2024

සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බව ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම කියාසිටියේය.

එහෙත් එය ජනතාවට සහ රටට අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකි බවද ඔහු සඳහන් කළේය..

කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තේරී පත්වන නව ජනාධිපතිවරයකුට බලය සම්ප්‍රේෂණය කිරීම ජනතාවට අහිතකර බලපෑම් ඇති නොකර ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතු බව ජාතික ජන බලවේගයේ ජන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැතිවරයා ඉඟිකළ පරිදි, ජනාධිපතිවරණයෙන් පසු සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවට මත පළවෙමින් පවතින බවට අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලතල ඇති බව පැවසූ කුමාරප්පෙරුම, මේ මොහොතේ එසේ කළහොත් එය කළ හැකි අශික්ෂිතම දේ බවත් පැවැසීය.

“ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාව තිබෙනවා. එවැනි අවස්ථාවක නව ජනාධිපතිවරයාට අනුගමනය කළ යුතු විධිවිධාන කිහිපයක් තිබෙනවා. කෙසේවෙතත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකියි. අලුතින් පත්වූ ජනාධිපතිවරයාට ප්‍රජාතන්ත්‍රවාදීව බලය සම්ප්‍රේෂණය කළ යුතුයි. එයින් අයහපත් බලපෑමකට ලක්නොවිය යුතුයි. ජනාධිපතිවරයා එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය ඔහු ජනතාවට සහ රටට කරන අශික්ෂිතම දෙයක් වෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.