October 24, 2024

පිළිතුරු ලබාදුනහොත් ජංගම දුරකථන ක්ෂණිකව පිපිරෙන බවට අසත්‍ය ප්‍රකාශ කරන වීඩියෝ පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවට දැනුම්දෙයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් දැනුම්දීමට තමන්ට ජනතාවගෙන් ඇමතුම් කිහිපයක් ලැබී ඇති බවයි.

අදාළ විදියෝවෙන් කියාසිටින්නේ: “ඔබට 13 හෝ 4 න් ආරම්භ වන අංක වලින් ඇමතුමක් ලැබෙන්නේ නම්, කිසිම තත්වයක් යටතේ පිළිතුරු නොදෙන්න.” යනුවෙනි.

”ඔබ ඇමතුමට පිළිතුරු දුන් වහාම ඔබගේ දුරකථනය පුපුරා යනු ඇත.” වීඩියෝ පණිවිඩයේ දැක්වේ.

එහෙත් දුරකථන ඇමතුමකින් ජංගම දුරකථන පිපිරීයෑමේ සිද්ධියක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පැහැදිලි කරයි.

රුධිරය ගලන හිස නොමැති මිනිසෙකු වාඩි වී සිටින ඡායාරූපයක් ද වීඩියෝවේ දැක්වෙන නමුත් මේ වනවිටත් හඳුනාගෙන ඇති ආකාරයට එය වීඩියෝවට සම්බන්ධ නොමැත.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් 13 හෝ 4 න් ආරම්භ වන අංක වලින් ලැබෙන ඇමතුම් පිළිබඳව විමර්ශනය කිරීමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මත කරුණු තහවුරු කරගැනීම සඳහා ඔවුන්ගේ විමර්ශන කණ්ඩායමට වීඩියෝව භාර දී ඇත.

ඇමතුමක් හරහා ජංගම දුරකථනයක් පුපුරායෑමට තාක්ෂණික වශයෙන් හැකියාවක් නොමැති බව ද දමුණුපොළ පැහැදිලි කළේය.

අතිශයින් සංකීර්ණ වැඩසටහනක් අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා දුරකථනයකට යැවිය හැකියි නමුත් එවැනි වැඩසටහනක් නිසා දුරකථනය පුපුරා යෑමට ඉඩක් නැත.

අංක 13 හෝ 4 න් ආරම්භ වන දුරකථන ඇමතුම් පිළිබඳ කතාව ද පදනම් විරහිත බව ඔහු පැවසීය.

”ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට අසත්‍ය තොරතුරු පතුරවනවා.”

”කාර්මික දෝෂයක් නිසා දුරකථනයක් පුපුරා ගියත්, ලැබෙන ඇමතුමකින් එය සිදුනොවේ.”

එබැවින් මෙවැනි දුර්මත විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට උපදෙස් දී ඇත.

42.31%
17.27%
32.76%