December 24, 2023

හදවතේ ගායකයා, ජනතාවගේ ගායකයා ඔහුය. එය වචනවලට පමණක් සීමාවූවක් නොවේ. ජනතාවගේ ගායකයා ලෙස ඔහු එය ඔප්පුකර තිබේ. පසුගිය වසර කීපයේදීම ජනතාවගේ ගායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුය.

වත්මනෙහි ජනතාවගේ අසීමිත ආදරයට පත්ව සිටින මේ ගයන ශිල්පියා ගැන අද ජනතාව දුකට කණගාටුවට පත්ව සිටින්නේ ඔහු රෝහල්ගත කළ ආරංචිය නිසාය.

ඒ ගැන තොරතුරු දැනගැනීම වෙනුවෙන් ඔහුගේ ළඟම ඥכතීන් හට මෙන්ම කළුබෝවිල රෝහලේ නිලධාරීන්ට කතාකළ ද ඉන් පලක් නොවිණි.

ඔහු රෝහල්ගත කළ මොහොතේ සිට බොහෝදෙනා ඔහු ගැන විමසන්නේ, සොයන්නේ, රෝහල ඉදිරිපිටට වී සිටින්නේ, ඔහුට කුමක් හෝ උදව්වක් කර ඉක්මණින් ඔහු සුවපත් කරගැනීම වෙනුවෙනි.

ඇත්තටම ඇයි ඔහු රෝහල් ගතව සිටින්නේ? මේ මොහොතේ අපට ඔහු වෙනුවෙන් කළ හැකි දේ, කළ යුතු දේ කුමක්ද? අපි ඒ ගැන සොයාබැලීමු.

Popular singer Chamara Weerasinghe admitted to ICU

චාමරට මොකද වුණේ?

ආදරණීය චාමරගේ සමීපතම මිතුරකුගෙන් අපි ඒ ගැන විමසීමු. පසුගියදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී තිබෙන අතර, එම නිසා මේ මිතුරා මෙන්ම තවත් මිතුරන් කීපදෙනෙකු කළ ඉල්ලීමට ඇහුම්කන් දුන් චාමර රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමට යුහුසුළු වී තිබේ.

ඔහු පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේ නිසා කළුබෝවිල රෝහල වෙත ගිය ඔහු හට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇතැයි වෛද්‍ය නිගමනය වූ නිසාවෙන් චාමරට රෝහල් ගතවීමට සිදුවිණි.

දැන් ඔහු සිටින්නේ නේවාසිකව ප්‍රතිකාර ලබමිනි.

ඔහුට ඇත්තේ ශ්වසන අපහසුතාවකි. වෛද්‍යවරු දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ තත්ත්වයෙන් ඔහු මුදවාගෙන යළි යථා තත්ත්වයට ගෙන ඒම වෙනුවෙනි.

දැන් සාමාන්‍ය ජනතාවට කළ හැකිව ඇත්තේ ඉක්මන් සුවය පතා මේ ‘හදවතේ ගායකයා’ හට ආශීර්වාද කිරීමය.

ඔහුගේ සමීපතමයකුවන, ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවන නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් පසුගියදා චාමර වෙනුවෙන් සෙත්පතා ඓතිහාසික බෙල්ලන්විල විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් ද සිදුකළහ.

ඉතින් හදවතේ ගායකයාට ආදරණීය තරුවට ද සැබෑ ලෙස ආදරය කරන ජනතාවට දැන් කළ යුතුව ඇති එකම දේ වෙන්නේ ද එයමය.

ඇයි චාමරට මෙහෙම වුණේ? සැබෑ ලෙස ඔහුට ආදරය කරන්නේ නම් ඔහු වෙනුවෙන් මින් පසු කළ යුත්තේ කුමක්ද?

චාමරයේ සමීපතම මිතුරකු පවසන පරිදි, චාමර යනු ඉතා අවංක චරිතයකි. එමෙන්ම ඉතා ඉවසීමක් ඇති කෙනෙකි. සංගීත ප්‍රසංගයකට ගිය පසු කිසි විටෙකත් තමන්ගේ වාරය එනතෙක් කලබලව හැසිරෙන අයෙකු නොවන්නේය. තමන්ගේ වාරය පැමිණෙන්නේ පාන්දර ජාමයේ දී නම් ඒ මොහොත දක්වා හෝ ඉවසා දරාගෙන සිටීම ඔහුගේ විදිය වේ.

“චාමර කියන්නෙ මට නම් මාරම හොඳ මිනිසෙක්, මාත් ගායකයෙක් තමයි. ඒත් අවංකවම කිව්වොත් මම ඔහුගේ හොද රසිකයෙක්. කිසිම දවසක ඔහුට තරහ යනවා මම දැකලා නැහැ. ඔහු ජනතාවගේ හදවතේ ගායකයා වෙලා සිටින්නේ අන්න ඒ මනුස්සකම නිසයි.”

චාමරගේ ලබැදි මිතුරා පවසන්නේ එලෙසිනි. මේ මිතුරා අදහස් දැක් වූ පරිදි, සමහරු චාමර හට ආදරය කරනවා වෙනුවට දක්වා ඇත්තේ සැබෑවටම ආදරයක් නොවන වග සඳහන් කළ යුතුය.

ඔහුට ලෝකයක් ආදරය කරන බව සැබෑය. එහෙත් සැබෑ ලෙස ඔහුට ආදරය කරන්නේ ඔහුගේ බිරිද සහ දරුවා මෙන්ම ළඟම ඥාතීන්ය. ඔහු වටින්නේ ඔවුනටය. එනිසා චාමර වෙනුවෙන් බාහිරව ආදරය කරන මිනිසුන් කළයුතු වන්නේ, ඒ සියලුදෙනා ගැන සිතා කටයුතු කිරීමය.

චාමර අපි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. සුවවී ඇවිත් රටක් ආදරය කරන ජනතාව හමුවේ පෙරටත් වඩා හෘදයංගවම ගී ගැයීම වගේම ඔබට ආදරය කරන ඒ මහා ප්‍රේක්ෂකාගාරයට පෙරළා ගරු කිරීම වෙනුවෙන් ඔබගේ ශරීර සුවතාවය ගැන මීට වඩා සිතා කටයුතු කිරිම ඔබගේ යුතුකමක් වෙයි.

මේ අතර, චාමරගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මේ අවස්ථාවේ චාමර වෙනුවෙන් මුදල් අවශ්‍ය යැයි සංවිධානාත්මක
කණ්ඩායම් මුදල් එකතු කිරීමේ ජාවාරමක යෙදෙන බවයි.

එවැනි ක්‍රියා සිදුකරන්නේ නම් ඒ ගැන දැනුම් දෙන ලෙසද චාමරගේ සමීපතමයෝ ඉල්ලා සිටිති.
(ලංකාදීප)