January 11, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරුවකු ලෙස මහේල ජයවර්ධනගේ භූමිකාව පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ මෙම වගකීම් සම්බන්ධයෙන් අර්ජුන රණතුංග විමසනු ලැබීය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉහළ වැටුප් ගෙවීමට තමන් විරුද්ධ නොවන නමුත්, ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වගකීම ඔවුන් භාරගත යුතු බවත්, අර්ජුන සඳහන් කරයි.

2023 ලෝක කුසලානයේ දී ජාතික කණ්ඩායමේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් කිසිවකු වගකිව යුතු නැති බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ කිසිදු පුහුණු කාර්ය මණ්ඩලයක් ඉවත් කර නොමැති බවත්, හෙතෙම පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇත්තේ අවුල් සහගත තත්ත්වයන් ඉවත් කිරීම පමණක් බවත්, පුහුණු කාර්ය මණ්ඩලයට වැඩි පිරිසක් එක්කර ඇති අතර කිසිවෙක් ඉවත් කර නොමැති බවත්, ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා යටතේ ක්‍රිකට් ක්‍රීඩාව දිගින් දිගටම පරිහානියට පත්ව ඇති බවත්, පසුගිය තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග කරද්දී එය පැහැදිලි වූ බවත්, ඔහු පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩාවට පණපොවන බවට සති අන්ත පුවත්පතක ක්‍රීඩා අමාත්‍යාංශයේ යැයි කියාගෙන පළකර තිබූ දැන්වීමක් පිළිබඳවද ඔහු එහිදී ප්‍රශ්න කළ අතර, ඒ සඳහා මුදල් වියදම් කළේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවද පෙන්වාදුන්නේය.

2023 ලෝක කුසලාන පරාජයට අදාළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශ පිළිබඳ විමර්ශන වාර්තාව නිකුත් කරන ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා මෙම ප්‍රකාශ සඟවනවා වෙනුවට ඒවා පිටුපස ඇති කරුණු හෙළිකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.