November 4, 2024

මැතිවරණ සමයේදී ආහාර පාන පිරිනැමීම සම්බන්ධයෙන් පවතින නීති අපැහැදිලිවීම අපේක්ෂකයන්ට සැළකිව යුතු අභියෝගයක් එල්ල කර ඇති බව පෙනීගොස් තිබේ.

නීති අපහැදිලි වීම නිසා අපේක්ෂකයන් ඡන්දදායකයන්ට බෝතල් කළ ජලය සහ සිසිල් බීම වැනි සරල ද්‍රව්‍ය පවා පිරිනැමීමෙන් වැළකී සිටින බව වාර්තා වේ

මෙම තත්ත්වය ඡන්දදායකයන් සමඟ කටයුතු කිරීමට අපේක්ෂකයන්ට ඇති අවස්ථාවට බලපෑමක් වී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් වන්නේ,

“මැතිවරණයකට පෙර, මැතිවරණයක් පවත්වනු ලබන අතර තුර හෝ මැතිවරණයකින් පසු තමා විසින්ම හෝ වෙනත් යම් තැනැත්තකුගේ මාර්ගයෙන් යම් තැනැත්තකුට හෝ ඒ තැනැත්තා උදෙසා හෝ ඒ තැනැතතාගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ ඡන්දය එම මැතිවරණයේදී දීමට හෝ දීමෙන් වැළකී සිටීමට දූෂිත ලෙස බලපෑම් කිරීමේ කාර්යය සඳහා නැතහොත් ඒ මැතිවරණයේ දී එබඳු යම් තැනැත්තකු හෝ වෙනත් යම් තැනැතතකුට ඡන්දය දී තිබිම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ ඡන්දය දීමට නැතහොත් ඡන්දය දීමෙන් වැළකීමට සුදානම්ව සිටීම නිසා කෙළින්ම හෝ අන් අයුරකින් යම් කෑමක්, බිමක්, අන් පානයක් හෝ ආහාර ද්‍රව්‍යයක් දෙන හෝ සපයන නැතහොත් දීමට හෝ සැපයීමට සලස්වන හෝ දීමෙහි හෝ සැපයීමෙහිලා ආධාර වන නැතහොත් දීමේ හෝ සැපයීමේ වියදම් සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් ගෙවන හෝ ගෙවීමට සලසවන නැතහොත් යම් කෑමක්, බිමක්, අන් පානයක් හෝ අහාර ද්‍රව්‍යයක් ලබාගත හැකි වනු පිණිස යම් මුදලක් හෝ බලපත්‍රයක් හෝ වෙනත් මර්ගයක් හෝ උපක්‍රමයක් ඉහත සඳහන් පරිදි දෙන හෝ සපයන නැතහොත් දීමෙහි හෝ සැපයීමෙහිලා ආධාර වන නැතහොත් දීමේ හෝ සැපයීමේ වියදම් සම් පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් ගෙවන හෝ ගෙවීමට පොරොන්දු වන සෑම තැනැත්තකුම සහ එවැනි යම් කෑමක්, බිමක හෝ අන්‍ය පානයක් හෝ ආහාර ද්‍රව්‍යයක් නැතහොත් එවැනි යම් මුදලක් හෝ බලපත්‍රයක් දුෂිත ලෙස භාර ගන්නා හෝ ලබා ගන්නා නැතත්තකු හෝ එවනි යම් කෑමක්, බිමක්, අන්‍ය පානයක් හෝ ආහාර ද්‍රව්‍යයක් ලබගත හැකිවනු පිණිස එවැනි වෙනත් මාර්ගයක් උපක්‍රයක් යොදා ගන්නා ඡන්දහිමියකුම සංග්‍රහ කිරීමේ වරදට වරදකරු විය යුතු ය.” යනුවෙනි.

පසුගිය දිනවල මැතිවරණ කොමිසම විසින් සමහර අපේක්ෂකයන් විසින් ඔවුන්ගේ රැස්වීම්වලට සහභාගිවන්නන් සඳහා සංවිධාන කරන ලද සංග්‍රහ වැළැක්වීමට කටයුතු කර තිබිණි.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය දක්වා කොමිසමට එවැනි පැමිණිලි දිගටම ලැබේ.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක පවසන්නේ ඇතැම් අවස්ථාවලදී අපේක්ෂකයන් තම රැස්වීම්වලට සහභාගිවන්නන්ට කුකුල් මස් රෝල් වැනි කෙටි කෑම වර්ග ලබාදීමට අවසර ඉල්ලා සිටින නමුත් එය නීතියට අනුව අල්ලස් දීමකට සමාන බවයි.

“අපි ක්‍රියා කළ යුත්තේ නීතියට අනුවයි. වතුර බෝතලයක් දීම පවා මේ ආකාරයෙන් අල්ලසක් ලෙස සැළකිව හැකියි. පැමිණිල්ලක් කළහොත් ක්‍රියාත්මක වීමට අපට සිදු වෙනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ ඡන්දය මිල දී ගැනීමේ අරමුණින් එවැනි ආහාර පාන හෝ ආහාර ලබා දීම සිදුකළ බවට අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බවයි.

“අපේක්ෂකයන්ට සිසිල් බීම, වතුර බෝතල් හෝ වෙනත් ඕනෑම ආහාරයක් පිරිනැමිය හැකිය. එසේ වුවද ඡන්දය මිලදී ගැනීම අවසාන අභිප්‍රාය බව නීත්‍යනුකූලව ඔප්පු කළ යුතුය. එය අභියෝගාත්මක කාර්යයක්,” යනුවෙන් ඔහු පවසා ඇත.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ තරු හෝටල්වල සාමාන්‍ය තේ හෝ වතුර බෝතල්වලින් පවත්වන උත්සව සභාවක් පවා මැතිවරණ කාලවලදී අල්ලස් ලෙස වර්ගීකරණය කර පුළුල් ලෙස සැළකීමට හැකි බවයි.

එබැවින් ඉදිරියේදී නීති සංශෝධන සම්බන්ධයෙන් සළකා බැලීමේදී අල්ලස නිවැරදිව නිර්වචනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%