September 9, 2024

කිනිතුල්ලන් දෂ්ට කිරීමෙන් මිනිසුන්ට පැතිර යා හැකි, සමහර අවස්ථාවල ස්නායු රෝග ඇති කළ හැකි wetland virus (WELV) ලෙස නම්කරන ලද නව වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා පවසයි.

වෛරසය ප්‍රථමවරට හඳුනාගෙන ඇත්තේ, 2019 ජුනි මාසයේදී ජින්ෂෝ නගරයේ 61 හැවිරිදි පුද්ගලයෙකුට ආසාදනය වීමත් සමගය.

ඔහු මොංගෝලියාවේ තෙත්බිම්වල කිනිතුල්ලන් දෂ්ට කිරීමෙන් දින පහකට පසු රෝගාතුර වී තිබේ.

The New England Journal of Medicine හි පළවූ වාර්තාවකට අනුව රෝගියාට උණ, හිසරදය සහ වමනය සමග ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී රෝග ලක්ෂණ ඇතිව තිබේ.

WELV අයත් වන්නේ කිනිතුල්ලන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් සමූහයකටයි.

එය ක්‍රිමියානු-කොංගෝ රක්තපාත උණ වෛරසයට සමාන වන අතර, එය මිනිසුන්ට දරුණු රෝග ඇති කළ හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

වෛරසයේ මූලික සොයාගැනීමෙන් පසුව, පර්යේෂකයන් විසින් උතුරු චීනයේ ගැඹුරු පරීක්ෂණයක් සිදුකරන ලද අතර, ඔවුන් විවිධ ස්ථානවලින් කිනිතුල්ලන් 14,600 කට ආසන්න සංඛ්‍යාවක් එකතු කර ඇත.

මෙයින් සියයට 2 ක් පමණ WELV ජානමය ද්‍රව්‍ය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇතැයි සඳහන් වේ.

බැටළුවන්, අශ්වයන්, ඌරන් සහ මීයන් තුළ ද WELV RNA සොයාගෙන තිබේ.

පර්යේෂකයන් කලාපයේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ රුධිර සාම්පල විශ්ලේෂණය කළ අතර, පුද්ගලයන් 640 න් 12 දෙනෙකුගෙන් WELV සඳහා ප්‍රතිදේහ සොයා ගෙන ඇත.

කිනිතුල්ලන් දෂ්ට කිරීම් ඇති රෝගීන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඒ අතරින් පුද්ගලයන් 20 දෙනෙකු වෛරසය සඳහා ධනාත්මක බව‍යි.

ඔවුන්ට උණ, කරකැවිල්ල සහ හිසරදය මෙන්ම ඔක්කාරය සහ පාචනය දක්වා රෝග ලක්ෂණ හඳුනා ගෙන ඇත.

මොළයේ සහ කොඳු ඇට පෙළේ ඇති අධික සුදු රුධිරාණු ගණන හේතුවෙන් එක් රෝගියෙකු කෝමා තත්වයට පවා ලක්ව තිබේ.