September 2, 2024

බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා එම ධූරවලින් ඉවත් කර ඇති හෙයින් ඊට හේතු දක්වමින් තමාට වාර්තාවක් ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් දන්වා ඇත.

එම වාර්තාව අද (2) දිනට ප්‍රථම ලබා දෙන්නැයි ද සභාපතිවරයා ආණ්ඩුකාරවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කිරීමත් සමග ඡන්ද විමසීම් කාලය තුළ රාජ්‍ය ආයතනවලට නිලධාරීන් සහ සේවකයන් බඳවාගැනීම ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍ර සහ චක්‍රලේඛ නිකුත් කර ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වන්නේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සහ පළාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බලතල හා කාර්ය නිසියාකාරව ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවට සෑහීමට පත්ව ඇති හෙයින් එම ඉවත්කිරීම සිදුකරන බවය.

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස උපාලි කොඩිකාර කටයුතු කළ අතර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස ප්‍රසන්න සංජීව කටයුතු කළේය.