December 2, 2024

ගෝලීය වෙනස්කම්වලට අනුකූලව කොළඹ වරාය පුළුල් කිරීම යටතේ අදානි සමුහය විසින් සිදුකිරීමට නියමිත බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් අදානි සමූහ ව්‍යාපාරය මේ වන විට එක්සත් ජනපදයේ ගොනු කර ඇති වංචා නඩුවකට මැදිවී සිටියි.

ලොව ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන S&P ශ්‍රේණිගත කිරීම් මගින් පෙන්වා දී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කරන අදානි සමූහයේ වරාය කළමනාකරණ සමාගමට සෘණාත්මක දැක්මක් ලැබී ඇති බවයි.

කෙසේවෙතත්, කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම 2025 මාර්තු කාර්තුවේදී නියමිත වේලාවට සිදුවනු ඇති බව කර්මාන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

S&P ශ්‍රේණිගත කිරීම් වාර්තා කර තිබුණේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටුණු සමාගම් අතරට Adani Ports සහ Special Economic Zone Ltd ඇතුළත් වන බවයි.

මෙය කොළඹ වරායේ පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමකි.

BBB- සෘණාත්මක ශ්‍රේණිගත කිරීම මගින් සමාගම සඳහා අරමුදල් සැපයීමේ සහ පාලනයේ ඇති විය හැකි අභියෝග පිළිබිඹු කරන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

පර්යන්තය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ දෙසැම්බර් 1 වැනිදා වන විට පර්යන්තය සඳහා නව දොඹකර ලැබෙනු ඇති අතර ඊට නෞකාවට ඍජුව සම්බන්ධ විය හැකි STS දොඹකර දෙකක් සහ යාඩ් ගැන්ට්‍රි දොඹකර තුනක් ඇතුළත් වන බවයි.

ඒ, සමග කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ උපකරණ සමූහය සැළකි යුතු ලෙස ශක්තිමත් වනු ඇති අතර, මුළු STS දොඹකර සංඛ්‍යාව 4 දක්වා සහ යාඩ් ගැන්ට්‍රි දොඹකර 11 දක්වා ඉහළ යෑමට නියමිතය.

එම පර්යන්තය සඳහා 2025 ජනවාරි මාසයේදී අමතර STS දොඹකර හතරක් ලබා ගැනීමට සූදානම් වන අතර එමඟින් සම්පූර්ණ STS දොඹකර සංඛ්‍යාව 8 දක්වාත් යාඩ් ගැන්ට්‍රි දොඹකර 18 දක්වාත් වැඩි වේ.

කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ සංවර්ධනය ඉදිරි වසර දෙක තුළ එහි බහාලුම් හැසිරවීමේ ධාරිතාව දෙගුණ කිරීමට හේතුවනු ඇත.

2026 වන විට අඩි 20 බහාලුම් මිලියන 15ක් හැසිරවීම කරා ළඟාවීමට එම පර්යන්තය බලාපොරොත්තු වේ.

42.31%
17.27%
32.76%