November 10, 2024

මෙවර මහමැතිවරණයට  ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් තරගවදින තිළිණ ජයවර්ධන සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

තිළිණ,  මෙවර මහමැතිවරණයට නවක මුහුණු රැසක් කළඑලි බහිනවා. ඇයි ඔබ මැතිවරණයට තරග කරන්න හිතුවෙ..?

ඇත්තටම මම දේශපාලනයට එන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.  නමුත් ජනතාව ක්‍රමයේ වෙනසක් ඉල්ලුවා. ඔවුන් ලොකු විප්ලවයක් කරා.  වෙනදට දේශපාලනය කරපු අය කළ යුතු දේ වුණේ රටේ නීති සහ ප්‍රතිපත්ති සකස් කරන්න. නමුත් තහඩු බෙදන්න, ලයිට් එකක් දාන්න කරපු දේශපාලනය නිසා මේ ක්ෂේත්‍රය මිනිස්සුන්ට තිත්ත වුණා. ඒ අතරෙ තමයි මහා නළුවෙක් වෙන රන්ජන් රාමනායක මහත්මයා අලුත් දේශපාලන ප්‍රවාහයකින් කළඑළි බහින්නේ. පක්ෂයෙන් ලැබුණු ආරාධනාව එක්ක මටත් හිතුණා මට මගේ අත්දැකීම් වලින් මොනව හරි කරන්න පුළුවන් වෙයි කියලා.

මොකක්ද ගෙදරින් සහ හිතවතුන්ගෙන් මේ තීරණය ගනිද්දි ලැබිච්ච ප්‍රතිචාරය?

ඇත්තටම ගෙදරින් නං කිව්වේ වැඩේ හොඳවුණත් නිකරුණේ නොකරපු දේට බැනුම් අහන්න වේවි… ඔයාට ඒවා දරාගන්න පුළුවන්ද වගේ කතා… හැබැයි ඉතින් අපි මිනිස්සුන්ට ඇත්ත කියනවා නම්, බොරු කරන්නේ නැත්තං අපි මොකටද බය වෙන්නේ? අවංකව දේශපාලනය කරපු මිනිස්සු ලංකාවේ ඉන්නවා. මමත් ආස එහෙම කෙනෙක් වෙන්න. නැතුව බිස්නස් කරන්න මිනිස්සුන්ගේ ඡන්දෙ අරගන්න ඕනි කියන තැන මම නෑ, මගේ නායකයත් නෑ.. නායකයා වුණත් කිසිම අපරාධමය හෝ වෙනත් වරදකට සිරගත වුණේ නෑ. ඔහුට ඒක සිද්ධ වුණෙත් මේ ක්‍රමයේ වැරැද්ද නිසා.  හැබැයි මට යාළුවන්ගෙන් උදව් ලැබුණා.  ඔවුන් මාව ධෛර්යමත් කරා. ඒ නිසා මම සෑහෙන තරමක් දේවල් ඉගෙනගෙන හෙමින් මේ ගමන යනවා.

පවුලෙ විස්තර සහ ඔබේ තොරතුරු කිව්වොත්? මොකද ඉස්සර දේශපාලනයට ආවේ සුදුස්සෝ නෙවෙයි කියල මිනිස්සු කියනවා….

ඒක ඇත්ත. ඒක නිසා තමා අපිට ලොකු මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ ඡන්දයක් කරන්න. මම ගැන කිව්වොත් මම සංචාරක මාර්ගෝපදේශකයෙක් සහ වෘත්තිය දේශකවරයෙක් විදියට කටයුතු කරනවා. මම දේශපාලනය කරන්න කාලෙකට කලින් සමාජ සේවය කරන්න පටන් ගත්තා සිංහ සමාජය වගේ තැන්වලින්. ඒ වැඩ අපි සතුටෙන් කරන්නේ. ඒවයින් උපයපු දේ තමා මිනිස්සුන්ගේ මුහුණුවල සිනහව. ආයෙ අපිට සතුටින් ඉන්න මිනිස්සු දකින්න ආසයි. ඒ වෙනුවෙන් තමයි  මේ උත්සාහය.  මුලින් ඇහුවනේ පවුලෙ විස්තර ඇත්තටම මම විවාහකයි. බිරිඳ සහ දරුවන් තුන්දෙනෙක්ගෙ පියෙක්. ඒ නිසා අනික් මිනිස්සුන්ට දැනෙන අවශ්‍යතා අපිටත් තියෙනවා. ඒ නිසා මිනිසුන්ගේ උවමනා එපාකම් අපි දන්නවා.  මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ  සහ ගණේමුල්ල හේමමාලි විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවෙ. ඊට පස්සේ උසස් පාඨමාලා කිහිපයක් හදාරලා තමයි මේ සංචාරක ක්ෂේත්‍රයට ආවේ.  ඉතින් මහජන බදු මුදලින් තමා අපි ඉගෙන ගත්තේ. ඉතින් අපිටත් යුතුකමක් තියෙනවා ආපහු යමක් රටට දෙන්න. මට ජීවත් වෙන්න හොඳ ආදායමක් සහ අනෙකුත් භෞතික සම්පත් තියෙන නිසා මට හොරකම් කරල, බොරු කියල මිනිස්සුන්ගෙන් ගන්න දෙයක් නෑ.

හොඳයි තිළිණ, දැන් මොකක්ද ඔබේ දැක්ම…මොනවගේ දෙයක්ද පාර්ලිමේන්තු තේරීපත්වුණාම කරන්න හිතාගෙන ඉන්නේ? අනික් දේ තමයි ඇයි ලොකු පක්ෂයකට සම්බන්ධ නොවුණේ?

අන්තිම ප්‍රශ්නෙට මුලින් උත්තර දීලා ඉන්නම්. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ලඟම හිතවතුන් මගේ ඉන්නවා. ඒ අයට මම මේ ප්‍රවෘත්තිය කිව්වාම ඇතැමුන්ගේ මුහුණු අවුල් ගියා. ඒකට හේතුව ඇයි ඒ අයගෙන් නොමිනේෂන් නොදුන්නේ වගේ එකක් නිසා. ඇත්තම කිව්වොත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මිනිස්සුන්ට එපාවෙලා. ඒවයෙ දේවදූතයො හිටියත් මිනිස්සු බලන්නේ අර පරණ විදියට තමයි. ඒක නිසා තමයි රන්ජන් රාමනායක මහත්මයා එක්ක එකතුවුණේ. රුපියලක් වත් වංචා නොකරපු මිනිහෙක් එක්ක අපිට උනත් එකට හිටගන්න පුළුවන්නේ.

අනෙක් කාරණාවට ගියොත් අපි ගම්පහ සංවර්ධනයෙදි මහා විශාලා මාතෘකා පාදක කරගන්නේ නෑ. ඒකට හේතුව තමයි අපි අපට කළ හැකි දේවල් ගැන ජනතාවට ඇත්ත කියන්න ඕනි. ආණ්ඩුවක් වගේ සියලුම ක්ෂේත්‍රවල සංවර්ධනයන් තනි මනුස්සයෙක්ට කියන්න බෑ. අපි පාර්ලිමේන්තු යන්නේ මූලිකව කරුණු හතක් ගම්පහට ඉෂ්ට සිද්ධ කරන්න.

ගම්පහ ගත්තාම ජාත්‍යන්තර ගුවන්තොටුපළ තියෙන එකම දිස්ත්‍රික්කය. හම්බන්තොට තිබ්බට ඒකට ගුවන් යානා යන්නෑනේ. ඉතින් අපිට වෙරළෙ ඉඳන් කඳුකර භූමිය දක්වා පැයක් තුළ යන්න පුළුවන්. පැය භාගෙකින් රක්ෂිත වනාන්තරයකට යන්න පුළුවන්.  කඳුකර ආරණ්‍ය වන සෙනසුන් ඇතිතරම් තියෙනව මෙඩිටේෂන් වලට එන සංචාරකයන්ට. වෙල්නස් ටුවරිසම් වලට අපිට ගම්පහ ආයුර්වේදයට අපූරුවට පාවිච්චි කරන්න පුළුවන්. පංච කර්ම චිකිත්සාවන් එහෙම අපිට විදේශිකයන්ට ලබා දීලා ඉහළ මුදලක් උපයන්න පුළුවන්. ඔය ස්පා වගේ දැන් මිනිස්සු බනින ස්ථාන වෙනුවට ඉතාම වෘත්තිමය අන්දමින් සේවා ස්ථාන හදන්න පුළුවන්. ඒ ස්පා වල වැඩකරන ළමයින්ට ගෞරවනීය රැකියාවක් උරුම කරන්න පුළුවන්. මේක දිග කතාවක් නිසා කෙටියෙන් කියන්නෙ. මොකද තවත් කාරණා 6ක් තියෙනවා.

අනෙක් කාරණාව තමා කසල බැහැර කිරීම. ගම්පහ වොලිබෝල් පිටිය එහා පැත්තේ කසල අංගණයක්. කොහොමද නාහෙ තියං ක්‍රීඩා කරන්නේ? විෂ වායු එන්නේ නැද්ද? මේවා තමා ප්‍රශ්න. අනික මිනිස්සුන්ට බැනල වැඩක් නෑ කියල දෙන්නේ නැතුව. කුණු වර්ගීකරණය කරන්න. ආහාර අපද්‍රව්‍ය වලින් පොහොර හදන්න. නියමු ව්‍යාපෘති විදියට ජීව වායු ටැංකි ලබා දීලා ඒ අයගේ බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කරන්න මහා ලොකු වියදමක් යන්නෑ. අපිට මන්ත්‍රී ප්‍රතිපාදන වලින් පාරවල් හදනවට වඩා කෝටි ගණං දීලා මේ වගේ දේවල් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ සාක්කුවට සහනයක් සලසන දේවල් තමයි අපි සැලසුම් කරල තියෙන්නේ.

දැන් ඔය දේවල් වලට කෝ සල්ලි? කියන්න පුලුවන්. නමුත් කරන්න පුළුවන්ද?

අපි මේ කියන දේවල් රජයේ මුදල් වලින් කළ යුතු දේවල් නොවෙයි. අපිටම තනියම පටන් අරං කරන්න පුළුවන් දේවල්. කුණු වර්ගීකරණය කරන්න, පෝර හදන්න සල්ලි යන්නෑ. ඒ වගේම අපිට ලැබෙන ප්‍රතිපාදන වැය කළ යුත්තේ ජනතා අවශ්‍යතා වලට. පාරක් හදන්න කියල කොන්තරාත්කාරයා පාර හදනව ලාබ මිලියන ගණං තියාගෙන…අවුරුද්දෙන් පාර ඉවරයි! නමුත් මිනිහෙක්ට ජීව වායු ටැංකියක් දෙන්න රුපියල් පණස්දාහක්වත් යන්නෑ. හැබැයි ඒ මිනිහා ජීවිත කාලෙම ඒකෙන් ප්‍රතිලාභ ලබනවා. පෞද්ගලිකව ජපන් රටේ ආයෝජකයො එක්ක මට සබඳතා තියෙනවා. ඒ අය උදව් කරන්න ලෑස්තියි. ඒ වගේම අපේ රටේ ව්‍යවසායකයො, දානපතියො ඉන්නවා, රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා.. මේවා හොඳටම ප්‍රමාණවත්. වසර පහකින් අපි ගම්පහ වෙනස් කරල පෙන්නනවා. නැත්තං ආයේ ඡන්ද ඉල්ලන්නෑ…

දැන් අපි කාරණා දෙකක් ගැන කතාකරා.  ඉතිරි කාරණා පහ ගැනත් කිව්වොත් වැදගත් වේවි.

ඔව්. අනික තමා පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වලට යොමු කිරීම. මම අර කිව්වා වගේ ජපානය වගේ රටවල අය කියනවා…අපිට උඹලගේ මිනිස්සු ඕනි. හැබැයි ඒ අයට අපේ භාෂාව උගන්නවල එවපං‘‘ කියල කියන්නේ. අපි ඉංග්‍රීසිවත් හරියට බැරි, කිසිම වෘත්තියක් කරගන්න බැරි අය රට රස්සා යවනව. අම්මලව ඩුබායි වල බත් තම්බන්න යවනවා. පවුල් පිටින් විනාස වෙනව මෙහේ. අනික ලක්ෂ ගණං හම්බවෙනවද? නෑ!  නමුත් ප්‍රයිමුවර් , කැටපිලර්වගේ යන්ත්‍රෝපකරණ පුහුණුවක් දීලා මිනිහෙක් රට යැව්වොත් ලක්ෂ දෙක තුනක් පඩිය ලැබෙනවා. අපි නුපුහුණු ගෘහ සේවකයො වෙනුවට යවන්න ඕනි පුහුණු වෘත්තිකයො.

තවත් දෙයක් තමා ගංවතුර. ගම්පහ පොඩි වැස්සටත් යටවෙනවා… ජාඇලට වෙනකං වගේම වේයන්ගොඩ පැත්තත් යටවෙනවා. මිලිමීටර් 100ක වැස්සක් දැන් දරාගන්න බෑ. අවිධිමත් සංවර්ධනය, වගුරු, කුඹුරු ගොඩකරල කරන ඉදිකිරීම්, අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ග වැටී තිබීම, වතුර බැසයන කානු පද්ධති පිළිසකර නොකිරීම වගේ දේවල් මේ තුළ තියෙනවා. මේවා අපිට නීති අණ පණත් මගින් කළ හැකි සහ පාලනය කළ හැකි තත්ත්වයන්. අපි ඉංජිනේරුවරුන් ලවා මේවා අධීක්ෂණය කරවල සැලසුම් හදල ඉවරයි.

අනික් කාරණාව තරුණයින්. ඔවුන්ට අනාගතයක් තියෙන්න ඕනි. ත්‍රීවීල් එකක් අරං පාරට එන එකම නෙවෙයි ජීවිතේ දිනනවා කියන්නේ. මම රැකියාවක් පහත් කොට කියනව නෙවෙයි. නමුත් ඊට එහා ලෝකයක් තියෙනව කියල ඒ අයට පෙන්නල දෙන්න ඕනි.  ක්‍රීඩාව වැඩිදියුණු කරන්න ඕනි. ගම්පහ වොලිබෝල් වලට ප්‍රසිද්ධ වුණාට දැන් මොනාද තියෙන්නේ?

කාන්තාවන් වැඩිම පිරිසක් ඉන්නේ ගම්පහ 52%ක්! මේ අය පවුල තුළ හිංසනයට ලක්වීම, දරුවන්ට තියෙන පීඩනය, ඩිප්‍රෙෂන් වගේ තත්ත්වයන් නිසා කාන්තාවන් ගැන අපි සතුව වෙනම කියවීමක් තියෙනවා. ඒ අයගේ හැකියාවන් වලින් වැඩක් අරං ගෙදරට හිරවෙලා ඉන්න තැනින් උඩට ගන්න අපිට හැකියාව තියෙනවා.

අධ්‍යාපනය ගැනත් නොකියා බෑ මොකද වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ළමයින්ගේ ප්‍රතිඵල මදි. ඒ වගේම මන්දපෝෂණය තියෙනවා. ළමයි උදේ රැස්වීම් වලදි හැමදාම 10ක් වත් ක්ලාන්තය හැදිලා වැටෙනවා. උදේට බඩට හොඳ ආහාර වේලක් වැටෙන්නෑ. කැපකරු මාපිය ක්‍රමය, දානපතියන්, ආදි සිසු සංගම් එකතුවෙලා අපිට මේක වෙනස් කරල මුල් වටයේදි 1-5 දක්වා ශ්‍රේණි වල දරුවන්ට දිනපතා උදේ ආහාර ලබා දෙන්න අපිට සැලසුමක් තියෙනවා. නිකං හොද්දයි බතයි නෙවෙයි. බිත්තරයක්, මාළු කූරියෙක් එක්ක ගුණයක් තියෙන විදියට… ලෝකෙ දැන් කමියුනිටි කිචන් කියල සංකල්පයක් තියෙනවා. අපි අරගලය කාලෙ ඒවා දැක්කා. අපිට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්..

හරි අපි ගොඩක් කතාකරා. අවසාන වශයෙන් දෙන්න තියෙන පනිවුඩය මොකක් ගම්පහ වැසියන්ට?

මගේ ඉල්ලීම තමයි, අපේ පක්ෂයට බලයක් ලබා දෙන්න. අපේ නායකතුමා අංක එකෙන් සහ මම අංක 19න් තරග වදිනවා.  අපි කාගෙවත් අතීතයේ හෝ වර්තමානයේ අපරාධ ඉතිහාසයක්, දූෂිත වංචාකාරී ඉතිහාසයක් නෑ. අපිට කාගෙන්වන් පළිගන්න නෙවෙයි බලය ඉල්ලන්නේ. මගේ පැත්තේ මිනිස්සු විදින දුක මම දකිනවා. ඒකට මට උදව් කරන්න ඒ බලය අවශ්‍යයි. මුදල් මත හැමදේම තීරණය වෙන්නේ නෑ. බලය අවශ්‍ය අන්න ඒකට. නැතුව මම ඇවිත් පාරෙ ලයිට් දාන්න, ටොයිලට් පෝච්චි බෙදන්න යන්නෑ. අනාගතයට යමක් ඉතුරු කරල යන්න අපි කැමතියි. මිනිහෙක් අපිට සාප කරන්නේ නැති තැනට අපි වැඩ කරනවා. අපිට ඒකට උදව් කරන්න. අපිව විශ්වාස කරන්න. ස්තූතියි.

(දැන්වීමකි)

42.31%
17.27%
32.76%