February 25, 2024

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ සාධාරණ හේතු ඕනෑම කමිටුවක් හමුවේ හෙළිකිරීමට සුදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු සඳහන් කරන්නේ, වැටුප් වැඩිකිරීම පිළිබඳ විනිවිදභාවය සහ වගවීම යන හේතූන් මත ඕනෑම පාර්ලිමේන්තු කමිටුවකට මේ පිළිබඳ කරුණු සහ විස්තර ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටිය හැකි බව තමන් මේ සතිය මුලදී ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

“මේ කතාවේ අපේ පැත්ත කියන්න ඕනෑම කමිටුවක් ඉදිරියේ පෙනීසිටීමට අපි සූදානම්” යැයි ඔහු පවසයි.

රාජ්‍ය අංශයේ පටි තදකිරීමට අදාළ නියෝගය නොතකා තුන් අවුරුදු වැටුප් සංශෝධනය යටතේ 29.53% සිට 79.97% දක්වා අනුපාතයකින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් සකස් කිරීම දැඩි විවේචනවලට හේතු වී තිබිණි.

මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ මාසික වැටුප රුපියල් 974,965ක සිට රුපියල් ලක්ෂ 17 දක්වා වන පරාසයකි ඉහළ නංවා ඇති අතර කාර්යාල කාර්ය සහායකයන්ගේ වැටුප් ද සැළකිව යුතු ලෙස ඉහළ නංවා තිබේ.

කාර්යාල කාර්ය සහායකයකුගේ මුළු වැටුප මේ වනවිට ආරම්භක මට්ටමේ වෛද්‍යවරයකුගේ වැටුපට වඩා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙවැනි විශාල වැටුප් වැඩිවීමක් සිදුකිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබුණේ මේ වන විට රටේ බහුතරය ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පසුබිමක් මධ්‍යයේය.

මේ සතිය මුලදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට කියාසිටියේ මහ බැංකුවේ ස්වාධීනත්වය යනු පාර්ලිමේන්තුව මඟහැරීම නොවන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට සිය වැටුප් සකස්කළ හැකි නමුත් එවැනි සාමාන්‍ය නොවන පියවරක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයට බලය ඇති බැවින් මහ බැංකු නිලධාරීන්ගේ ඕනෑම වැටුප් වැඩිවීමක් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවයි.

මහබැංකු කාර්යාල කාර්ය සහායකයන්ට ලබාදී ඇති වැටුප් වැඩිවීම ගැන සඳහන් කරමින් ඔහු විමසා සිටියේ මෙතරම් තියුණු වැටුප් වැඩිවීමක් ලැබීමට කාර්යාල කාර්ය සහායකයන්ගේ විශේෂ රාජකාරිය කුමක්ද යන්නයි.

කෙසේවෙතත් මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් පවසන්නේ, සාමූහික ගිවිසුම යටතේ මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍ය වන අතර, එම වැඩිවීමේ ප්‍රතිශතය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කර අනුමත කළ යුතු බවයි.

එය කම්කරු දෙපාර්තමේන්තුවේ වැටුප් මණ්ඩලයට වඩා වෙනස් බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට පාලනයක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ද පැවැසීය.

මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කරන්නේ මහ බැංකු පාලක මණ්ඩලය බවත්, මූල්‍ය විශේෂඥයන්ට සහ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයන්ට අත්‍යවශ්‍ය සේවාවන් රඳවා ගැනීමට ඉහළ වැටුප් ගෙවිය යුතු බවත් ඔහු පැවැසීය.

වාර්තා වන පරිදි රේගු නිලධාරීන්, දේශීය ආදායම් තක්සේරුකරුවන්, සුරාබදු පරීක්ෂකවරුන් සහ අනෙකුත් ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවල නිලධාරීන් ලබන්නේ මහ බැංකුවේ කාර්යාල සහායකයන්ට වඩා අඩු වැටුපකි.

එසේම මහ බැංකුවේ කාර්යාල කාර්ය සහකාර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් යන අයගේ වැටුප් දෙගුණයකින් වැඩිකර තිබේ.

දේශීය මිල ස්ථායිතාව, මූල්‍ය ස්ථාවරත්වය සහ ජනතාවට වැඩි වගවීම පවත්වාගෙන යෑම සඳහාත් එහි ජනවරම සහතික කිරීම සඳහාත් නව මහ බැංකු පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

42.31%
17.27%
32.76%