January 12, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාමණ්ඩියවන තිලක් වීරසිංහට අයත් Lanka Sportsrizen සමාගම ඇතුළු රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයන් සඳහා කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරයන් සිදුකරගෙන යෑමට දී ඇති අවසරයන් නීත්‍යනුකූල නැති බවට පළකර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව Lanka sportsrizen ආයතනය අප වෙත පැහැදිලි කිරීමක් සිදුකරමින් දැනුම්දී ඇත.

තම සමාගම ලියාපදිංචි ආයතනයක් බවත් අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ සිදුකරන ව්‍යාපාරයක් බවත් රටවල් 40කට වැඩි සංඛ්‍යාවකට වඩා ලියාපදිංචිව ඇති බවත් Lanka Sportsrizen සමාගම පවසයි.

තවද වරාය නගරය තුළ ව්‍යාපාර සිදුකිරීම ගිවිසුමක් හරහා අප සමාගම විසින් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත්, ඊට අදාළ ලිපිලේඛන තමන් සතුව පවතින බවත්, ඕනෑන අවස්ථාවකදී රාජ්‍ය නිලධාරීන්ට මේ පිළිබඳව අවශ්‍ය වෙතොත් අවශ්‍ය තොරතුරු ලබාදීමට හා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය උපකාර කිරීමට සූදානම් බවත් Lanka Sportsrizen සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම වරාය නගරය තුළ සිදුකරන ව්‍යාපාර සදහා තමන් නියමිත පරිදි බදුගෙවන බවත් එම සමාගම පවසයි.

මෙම ව්‍යාපාරය ආරම්භ කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම පවුලට සම්බන්ධවීමට පෙර බවත්, එමනිසා මෙම ව්‍යාපාර සදහා නාමල් රාජපක්ෂගේ සම්බන්ධයක් නැති බවත් සමාගම ප්‍රකාශ කරයි.

දේශපාලනය හා ව්‍යාපාර එකට සම්බන්ධ කර නොගැනීම සැමට යහපතක් බවත් එම සමාගම පවසයි.

විශේෂයෙන්ම දශක 03ක් තිස්සේ ශ්‍රී ලංකාවට ආදායම් ගෙන එන සමාගමක් හා නියමිත ලෙස ලියාපදිංචිව ව්‍යාපාර කරන හා නියමිත වේලාවට බදු මුදල් ගෙවන ආයතනයක් බව අවධාරණය කිරීමට කැමති බවත් Lanka Sportsrizen සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කර්තෘ සටහන :

‘නාමල්ගේ මාමණ්ඩි පොර්ට් සිටියේ බිස්නස් කරන්නේ අවසරයක් නැතුව’ යන සිරස්තලය යටතේ අප විසින් පළකරන ලද ප්‍රවෘත්තිය, මෙරට ලියාපදිංචි සතිඅන්ත පුවත්පතක් වන ‘අනිද්දා’ වෙතින් උපුටා ගන්නා ලද්දක් බවත්, අදාළ පුවත්පත විසින් සත්‍යාපනය කර පළකරන ලද ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරමින් අප නැවත පළකර ඇති බවත් Lanka Sportsrizen ආයතනය වෙත දැනුම්දෙමු.

42.31%
17.27%
32.76%