42.31%
17.27%
32.76%
October 12, 2023

ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණවල දක්නට ලැබෙන යම් යම් අඩුපාඩු ඉවත්කර ගැනීමට දේශීය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය විසින් පත්කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා යුක්තිය පසිඳලීම සඳහා වූ ජාතික කතෝලික කමිටුවේ සාමාජිකයන් වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් කිහිපදෙනකු විසින් අත්සන් කරන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ පසුගිය විමර්ශනවලදී වැදගත් කරුණු නොසළකා හැර ඇති බවයි.

‘සොනික් සොනික්’ ලෙස හඳුනාගත් IP බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම නතර කිරීම, අබු හින්ද් හඳුනානොගැනීම සහ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුනොකිරීම, ඇමරිකානු FBI බුද්ධි සාමාජිකයා විසින් CIDයට IP ලිපිනය ලබා දුන්පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ සිදුනොකිරීම සහ බෝම්බකරු ජමිල් බුද්ධි අංශ සමඟ ඇති සම්බන්ධය මෙන්ම ගැලනිගම පිටවීමේ දොරටුවේ දී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරියක් ගමන් කිරීමට ඉඩ දී ඇති සිද්ධිය පිළිබඳව නිසි පරීක්‍ෂණයක් නොපැවැත්වීම ඇතුළු ගැටළු රැසක් කතෝලික සභාව පෙන්වාදී තිබේ.

“යුද බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ රාජ්‍ය බුද්ධි සේවය සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව පැහැදිලියි. මෙම පරීක්ෂණවලට බාධා කිරීමට සහ කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබෙනවා,” එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගියදා විකාශය කෙරුණු චැනල් 4 වීඩියෝ පටයේ ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද කමිටුව ඉල්ලා සිටී.

ඔවුන් පවසන්නේ, මෙම පරීක්ෂණය ස්වාධීන විදේශීය නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කළ යුතු බවයි.

එම ලිපියට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා, හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස්, ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ, සහකාර රදගුරුවරුන් වන ජේ.ඩී. ඇන්තනි ජයකොඩි, ඇන්ටන් රංජිත් සහ මැක්ස්වෙල් පියතුමන්ලා කිහිපදෙනකු අත්සන් තබා ඇත.

42.31%
17.27%
32.76%